හැඳින්වීම

රාවණා යනු මීට වසර 4500කට පමණ පෙර එනම්, (ක්‍රි.පු.2554) සිට (ක්‍රි.පු.2517) දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ ‍ඓතිහාසික අගරජවරයෙකි. පුරාණ හින්දු වීර කාව්‍යයක් වන 'රාමායනය' හි ඔහු ප්‍රධාන දුෂ්ඨ චරිතය ලෙස අර්ථ දක්වා තිබේ. ශුද්ධ වූ පුරාණ ග්‍රන්ථයන්ට අනුව රාවණ චරිතය විස්තර කර ඇත්තේ සෘණාත්මක ආකාරයකිනි. ඒ රාවණ රජුගේ සොහොයුරිය වන සුපනඛාගේ නාසය කපා දැමීමට පළිගැනීමක් වශයෙන් රාවණා විසින් රාම රජුගේ බිරිඳ වන සීතා දේවිය ඉතාමත් දුෂ්ඨ ලෙස පැහැරගෙන ගියේය යන තර්කය මත පදනම් ව කරුණු දැක්වීමෙනි. මේ දුෂ්වර්ණනය කෙසේ වෙතත් මෙම ඓතිහාසික සංසිද්ධිය වෙනත් අර්ථ විවරණයන්ට ද මග පාදයි.

මේ ග්‍රන්ථයන්ට අනුව රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්‍රාවකයෙක්, මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක් හා සුප්‍රසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස් , දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්‍රාඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ. -නමුත් සමහරක් පුරාණ කලා නිර්මාණ වල රාවණා සැබවින්ම හිස් දහයක් හා අත් විස්සක් සහිත අද්භූත ආකාරයකින් ඇඳ දක්වා තිබේ. විකල්ප මතධාරීන්ගේ අදහස් දැක්වීමට අනුව රාවණා යනු පංචේන්ද්‍රියන්ට ඊට අදාළ හැඟීම් නැති, වෙනත් බලවේගයන් මගින් පාලනය වූ කෙනෙකි. ඔවුනට අනුව රාමා ඊට ප්‍රතිවිරුද්ධ ලෙස තම අඟපසඟ හා හැඟීම් තමා රිසිසේ හසුරුවා ගත හැකි අයෙකි. 'අථර්ව වේද' නම් පුරාණ හින්දු ග්‍රන්ථයේ 'දශාග්ව' (දස-හිස්) හා 'නවාග්ව' (නව-හිස්) ලෙස සඳහන් වී තිබෙනු දක්නට ලැබේ. මේ පූර්ව ග්‍රන්ථයන්ගේ ආභාෂයෙන් රාමායනයේ චරිත තුලට මේ දස-හිස් වර්ණනය පැමිණෙන්නට ඇතැයි සැලකේ.

රාවණා යනු විශිෂ්ඨ ග්‍රන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්‍රය හා ජ්‍යෝතිෂයට අදාල බලගතු ග්‍රන්ථයක් වන 'රාවණ සංහිතා' නම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි. එමෙන්ම ආයුර්වේදය හා රාජ්‍ය පාලනය සම්බන්ධව පරිපූර්ණ දැනුමක් ඔහු සතු විය. ආයුර්වේදයට අදාලව වෛද්‍ය ග්‍රන්ථයන් ද ඔහු විසින් සම්පාදනය කර ඇතැයි සැලකේ. මහා බ්‍රහ්මයා විසින් ලබාදුන් දිව්‍යමය වරයකට අනුව අමරණීය බව ලබා ගත හැකි පානයක් ඔහු සතුව තිබුණු බව පැවසෙන අතර එය ඔහුගේ නාභියට යටින් රඳවා තබා ඇත.

මූලය

රාවණා යන නාමය යම් කිසි මූලයක් සහිතව උපන් බව පෙනේ. මෙහිදී 'රා' යන්නෙන් සූර්යයා සංකේතවත් වන අතර 'වණ' යන්නෙන් පරම්පරාව හෝ වංශය යන්න සංකේතවත් වේ. ඒ අනුව රාවණ යන්නෙන් 'සූර්ය වංශික' යන අර්ථය දේ. රාවණා රජු හැඳින්වීමට දසිස් රාවණ, රාවන්, රවුලා, ලංකේෂ්වර, රාවනේෂ්වර ආදී නම් ද භාවිත වේ.

උපත

මහා සෘෂි වෛශ්‍රවන (වෙසමුණි) හා ඔහුගේ බිරිඳ වන ‍කෛකේසි නම් ධෛත්‍ය මහේෂිකාවට දාව රාවණ කුමරු උපත ලැබීය. ඔහුගේ සීයා වන පුලස්ත්‍ය මහ බ්‍රහ්මයාට දාව උපන් ප්‍රජාපතී (මනසින් උපන්) පුත්‍රයින් දස දෙනාගෙන් අයෙකි. එමෙන්ම ඔහු මහා සෘෂීන් සත් දෙනාගෙන් කෙනෙක් ලෙසද සැලකේ. ඔහු දේවගණ ගෝත්‍රයට අයත් වන නිසා රාවණා ද ඒ ගණයේ සැලකේ. රාවණාගේ මව වන කෛකේසිගේ පියා වූයේ ධෛත්‍යයන්ගේ රජ වූ සුමාලි (සුමාලය) රජතුමායි. ඔහුගේ බලාපොරොත්තුව වූයේ ඔහුගේ දියණිය වන කෛකේසි මනුෂ්‍ය වර්ගයා අතර බලවත්ම පුරුෂයා සමග විවාහ කරවීමටයි. කෛකේසි අතින් බොහෝ රජවරුන් ප්‍රතික්ෂේප විණි. අවසානයේ සෘෂීන් අතර බලවන්තයන් සොයා බැලූ ඇය සිය ස්වාමියා වශයෙන් මහා සෘෂි වෛශ්‍රවන තෝරා ගත්තේය. (වෛශ්‍රාවණ ඒ වන විටත් කුබේර ගේ පියා විය)

ඒ අනුව බැලීමේ දී රාවණ පිය පාර්ශවයෙන් බ්‍රාහ්මණ ගෝත්‍රයට ද මව් පාර්ශවයෙන් ධෛත්‍ය (රාක්ෂ) ගෝත්‍රයට ද නෑකම් කියයි. රාමා විසින් මහා බ්‍රාහ්මණයෙක් ලෙස රාවණා හට ප්‍රශංසා කර ඇති අතර බ්‍රාහ්මණයෙක් වන රාවණා මැරීම සඳහා රාම විසින් අශ්වමේධ යාගය සිදු කළ බව සඳහන් වේ.

විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි. එමෙන්ම කෛකේසිය 'මීනාක්ෂි' නම් දියණියකට ද උපත දුන්නාය. පසු කලෙක සුපනඛා ලෙස ප්‍රකට වුයේ රාවණාගේ මේ සොහොයුරියයි.

තරුණ කාලය

ආක්‍රමණශීලී හා උද්ධච්ඡ ගති ප්‍රකට කළත් රාවණා යනු ඉතාමත් දක්ෂ, ප්‍රඥාවන්ත දරුවෙක් බව ඔහුගේ පිය වූ වෛශ්‍රවණ මුනිවරයා හට වැටහිණි. මේ නිසා රාවණාට වෛශ්‍රවණ භාරයේ රැඳී වේදය හා අනෙකුත් ශුද්ධ වූ ග්‍රන්ථයන් ද, කලා ශිල්ප හා විද්‍යා ශාස්ත්‍රයන් ද, ක්ෂිත්‍රියයන් (රාජකීයයන් / රණ ශූරයන්) විසින් උගත යුතු, ප්‍රගුණ කළ යුතු වූ සියළුම හරඹයන් ද හැදෑරීමට අවස්ථාව උදාවිය. ඔහු මේ සියල්ල ඉතා හොඳින් උගත්තේය. එමෙන්ම රාවණා යනු ඉතා විශිෂ්ඨ ගණයේ වීණා වාදකයෙක් ද වේ. පසු කාලීනව ඔහුගේ නිළ ඡත්‍රයේ (කොඩියේ) පවා වීණාවක රූපයක් අඩංගු වූ බව කියැවේ.

මේ අතරතුර රාවණාගේ මව වූ කෛකේසි දේවියගේ පියතුමා වූ සුමාලි රජුගේ අභිප්‍රාය වූයේ ධෛත්‍ය වංශිකයන්ගේ ආචාර ධර්මයන් ආරක්ෂා කර ගනිමින් රාවණා තම ගෝත්‍රය තුළ රඳවා තබා ගැනීමටයි. රාමායනය පවසන පරිදි වර්තමාන ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර, රාජස්ථාන් සිට මාතුරා හි දකුණින් පිහිටි දිල්ලියත් සමග ගුජරාටයත් ඇතුලත් වන පුරාණ යාදු කලාපය සමගත් රාවණා හට කිට්ටු සබඳතාවයක් තිබී ඇත. එමෙන්ම රාමාගේ බාල සොහොයුරා වූ ශැතෘග්ණ විසින් මරණයට පත් කරන ලදුව සිය පාලනයට යටත් කර ගත් ලවණසුර නොහොත් රාක්ෂසයන් සමග ද රාවණාගේ ඥාතී සම්බන්ධතාවයක් තිබූ බවට විස්වාශයක් ඇත.

එසේම රාමායනය ඇතුළු පුරාණ ග්‍රන්ථයන්ට අනුව යාඩු කලාපයේ සිටි ‍ශ්‍රේෂ්ඨතම රජවරුන්ගෙන් කෙනෙක් වන කර්තවීර්ය අර්ජුන් නම් රජු විසින් නර්මදා ගං ඉවුරේදී ශිව ලිංගය වන්දනාමාන කරමින් හා යාගහෝම පවත්වමින් ලබාගත් බලයක් මගින් රාවණා රජු යටත් කොට තබාගත් බව සඳහන්ය. කෙසේ වුවත් රාමායනයේ සඳහන් වන ලෙසට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ රාවණා යනු මනුෂ්‍යයන් හෝ අසුරයන් අතර අසමසම පුද්ගලයෙක් වූ බවයි.

තපස් ව්‍රතයන්

පෙර කියන ලද ප්‍රාථමික අභ්‍යාසයන් සියල්ලම නිම කිරීමෙන් පසු රාවණා විසින් මහා බ්‍රහ්මයා වෙනුවෙන් වූ උග්‍ර තපස් ව්‍රතයකට එළඹියේය. අවුරුදු ගණනාවක් තිස්සේ මේ ව්‍රතය පුරන ලදී. තමා කෙතරම් හොඳින් ව්‍රතයන් පිරුවත් මහා බ්‍රහ්මයා තමා ඉදිරි‍යේ පෙනී නොසිටි නිසා කෝපයට පත් රාවණා විසින් සිය හිස කපා දමන ලද බව සඳහන්ය. හිස කපා දැමූ පසු නැවතත් හිසක් පැන නැඟි අතර මේ ආකාරයෙන් දස වාරයක්ම ඔහු තම හිස කපා දැමීය. ඒ සෑම වාරයකදීම අළුතින් හිසක් පැන නැගී ඔහුගේ තපස් ව්‍රතය දිගටම කරගෙන යාමට අවස්ථාව උදාවිය.

දස වන වාරය අවසානයේ මහා බ්‍රහ්මයා රාවණාගේ ව්‍රතය පිළිබඳ තෘප්තිමත්ව සතුටට පැමිණ ඔහු ඉදිරියේ පෙනී සිටින ලදී. මෙහිදී මහා බ්‍රහ්මයා විසින් රාවණා වෙත වරයක් ප්‍රදානය කරන ලදී. රාවණා ඉල්ලා සිටියේ තමාට අමරණීයභාවය ලබා දෙන ලෙසයි. මහා බ්‍රහ්මයා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත් ඒ වෙනුවට සදාකාලික භාවයේ දිව්‍යමය අමෘතය රාවණා හට ලබා දෙන ලදී. මෙම අමෘතය අඩංගු බඳුන රාවණාගේ නාභියට (බඳ පටියට) යටින් රඳවා තබා තිබුනු බවත් මේ අමෘත පානය අවසාන වන තුරු රාවණා අභිබවා යෑමට නොහැකි බවත් පැවසේ.

මෙම වරය ලැබීමෙන් පසු මීලඟට රාවණා ඉල්ලා සිටියේ දෙවියන්ට, දිව්‍ය ආත්මයන්ට, අමනුෂ්‍ය ආත්මයන්ට, සර්පයන් හෝ අනෙකුත් චණ්ඩ වන මෘගයන්ට තමාට හානියක් ‍නොකළ හැකි ආකාරයේ හා තමාට ඒ සියල්ලන් කෙරේම ආධිපත්‍ය පැතිරවිය හැකි ආකාරයේ වරයක් ලබා දෙන ලෙසයි. මහා බ්‍රහ්මයා විසින් මේ වරයත් ඔහුට ලබා දුන් අතර මේ සියල්ලටම අමතරව තමා වෙනුවෙන් රාවණා විසින් සිඳින ලද හිස් දහය වෙනුවෙන් දිව්‍යමය ආයුධ හා යන්ත්‍ර-මන්ත්‍රාදී ගුප්ත ශාස්ත්‍ර පිළිබඳ වූ අනන්ත ඥානයද සමග අති මහත් ශක්තියක්ද ප්‍රදානය කරන ලදී. මේ නිසා රාවණා දශමුඛ ලෙස හැඳින්වී යැයි පැවසේ.

ලංකාපති රාවණා

මහ බ්‍රහ්මයාගෙන් ඉහත කී වරයන් ලබා ගැනිමෙන් පසු රාවණා මහා බල සම්පන්න භාවයකට පත් විණි. ඔහුගේ මීලඟ අපේක්ෂාව වුයේ තම මවගේ පියා වු සුමාලි රජුගේ හමුදා බලඇණියේ නායකත්වය ගැනීමයි. එයින් පසුව ඔහුගේ අවධානය යොමු වුයේ ලංකා පුරය අල්ලා ගැනීමටයි.

ලංකාව වනාහි කාව්‍ය විෂයානුඅතික්‍රාන්ත වු රමණීය පුරවරයකි. මේ උත්කෘෂ්ඨ පුරය දිව්‍ය භාණ්ඩාගාරික වු කුබේරයන් (කුවේර) හට විශ්වකර්ම දිව්‍ය ප්‍රත්‍රයා විසින් නිමකර දෙන ලදී. කුබේර විසින් ඉතා නිර්ලෝභි ලෙස තමා සන්තක සියල්ලම රාවණා හා ඔහුගේ සෙසු සොයුරු සොයුරියන් සමග බෙදා හදා ගෙන සිටි මුත් රාවණා හට ලංකාව තම පුර්ණ ආධිපත්‍ය යටතේ තබා ගැනීමට අවශ්‍ය විය. කුබේර යනු රාවණාගේ පියා වු වෛශ්‍රවණයන්ගේ වෙනත් බිරිඳකගේ ප්‍රත්‍රයා වේ.

ඒ අනුව කුබේර හා රාවණා යනු එකම පියා ගේ පුත්‍රයන් වන අතර එනිසාම අර්ධ සොහොයුරන්ද වේ. එය එසේ වුවත් රාවණා විසින් ලංකා පුරය බලෙන් ලබා ගන්නා බවට කුබේරට තර්ජණය කරන ලදී. මෙහිදී ඔවුන්ගේ පියා වු වෛශ්‍රවණ විසින් කුබේරට උපදෙස් දුන්නේ රාවණා දැන් අභිබවා යා නොහැකි තරම් බලවන්තයෙක් වන නිසා ලංකා පුරය ඔහුට ලබා දීම සුදුසු බවයි.

රාවණා විසින් ලංකාව බලහත්කාරයෙන් මෙන් ලබාගත්තා වුවද ඔහු ලංකාපුර වැසියන්ට කරුණාවන්ත මෙන්ම කාර්යශුර පාලකයෙක්ද විය. ඔහුගේ පාලනය යටතේ ලංකාව ඉතා සමෘද්ධිමත් වුණු අතර එය විස්තර කොට දක්වන්නන් පවසන පරිදි ලංකා පුරයේ දිලිඳුම ගෙවල්වල පවා භාජන උතුරා යන තරම් රත්රන් තිබූ බව කියවේ. නගර වැසියන්ට කෑමෙන් බීමෙන් කිසිදු අඩුපාඩුවක් නොතිබුනු අතර බඩගින්න යනු ලංකාපුර වැසියන් නොදත් වචනයක් බවට පත්ව තිබිණි.

කෛලාසය යට සිටින රාවණාගේ මූර්තියක්

ශිවගේ අනුගාමිත්වයට පත්වීම

ලංකාව අත්පත් කරගැනිමෙන් පසුව රාවණා මීලඟට පැටලුනේ ශිව සමගයි. ඔහුගේ වාස භවනය වු කෛලාශ කූටයේදි සටනට එළඹි රාවණාට ආ හදිසි කල්පනාව වුයේ කෛලාශ කූටය මුලිනුදුරා විසි කොට දැමීමටයි. අහංකාර රාවණාගේ මෙම ප්‍රකෝපකාරී ගැහැට කිරීම් නිසා කෝපයට පත් ශිව කලේ ඉතා වේදනා උපදවන පරිදි කෛලාශය මත තිබු ඔහුගේ පයේ සුළැඟිල්ලෙන් රාවණා පාගා දැමීමයි. මේ ආකාරයට රාවණා හට කෛලාශ කූටය යටට වී ශිවගේ පයට පෑගී දඬුවම් විඳීමට සිදුවිය. මේ අතර ශිවගේ අනුගාමිකයන් විසින් රාවණා ගැටුනේ කවරාකාරයේ පුද්ගලයෙක් සමගද යන්න පහදා දුන් අතර තම වැරැද්ද ගැන රාවණා පසු තැවෙන්නට විය.

ශිව දේවයන් වර්ණනා වන පරිදි රාවණා විසින් ගීතිකාවන් තනා ගායනා කරන්නට යෙදුනු ‍ අතර ශිවගේ බන්ධනයෙන් මිදෙන තුරු වර්ෂ ගණනාවක් රාවණා හට මෙසේ සිටීමට සිදුවූ බව පැවසේ. රාවණාගේ යටහත් පහත් භක්තිවන්ත භාවය නිසා පැහැදීමට පත් ශිව විසින් ඔහුට චන්ද්‍රහස් නම් දිව්‍යානුභාව ඇති අසිපත ලබා දෙන ලදී. රාවණා ශිවගේ දණ්ඩනයට යටත්ව කඳු පර්වතයන්ට යට කරද්දී ඔහු කෑ ගසා හඬ නැඟූ ආකාරයට මහා පොළව පවා කම්පා වු බව පැවසේ. “මහා භයංකර ගර්ජණය” යන අරුතින් ‘රාවණා’ යන නම යෙදුණු බව සැලකේ. රාවණා දිවි ඇති තුරාවටම ශිව දේවයන්ගේ භක්තිමත් අනුගාමිකයෙක් වු අතර ශිව තාණ්ඩව ස්ත්‍රෝත්‍ර නම් බැති ගීතිකාව රාවණා විසින් ශිව දේවයන් උදෙසා රචනා කරන ලදී. මහා බ්‍රහ්මයාගෙන් ලද අමෘත පානය හේතුවෙන් අමරණියත්වයට පත් වි සිටි රාවණා ශිව වෙතට ගොස් ඔහු පිනවීම උදෙසා තම හිස සිඳ දමා එය ශිවට පුජා කරන ලදී. ශිව විසින් නව හිසක් ප්‍රතිෂ්ඨාපනය කරණ ලදී. මේ ආකාරයට නව වතාවක්ම සිදුවු අතර රාවණාගේ භක්තිවන්ත භාවය පිළිබඳ ශිව ඉතා පැහැදීමට පත් විය. මේ සිද්ධිය නිසා දශ-ශීර්ෂ යන නාමය යෙදුණු බව සඳහන් වේ.

තුන්ලෝකාධිපති රාවණා

මේ වන විට රාවණාගේ බල පරාක්‍රමය බිය උපදවන තරමටම වැඩී වර්ධනය වී තිබිණි. සංග්‍රාම දාමයකින් පසුව දිව්‍ය, මනුෂ්‍ය, යක්ෂ යන තුන් ලෝකයම රාවණා විසින් දිනා ගන්නා ලදී. පාතාල ලෝකය ද සම්පුර්ණයෙන්ම යටත් කෙරිණි. තම බාල සොහොයුරා වු අහිරාවණ රජ තනතුරේ පිහිට වු රාවණා තුන් ලොවටම අග්‍රාධිපති ලෙස අසුරයන් පාලනය කලේය. නිවාතකවච හා කලාකීය නම් වූ ගෝත්‍රයන් දෙක සමග සමගි සම්මුතියකට එළඹියේ ඔවුන් රාවණා‍ගේ ඥාතීන් වීම නිසා ඔවුන් අභිබවා යටත් කරගැනීමට නොහැකි නිසාවෙනි.

මේ ආකාරයෙන් දීර්ඝ සංග්‍රාම මාලාවකින් ඉක්බිති රාවණා සමස්ථ අසුර ලෝකයේම අධිරාජ්‍යයා වශයෙන් කිරුළු පැළඳීය. රාමායනයේ දැක්වෙන කාලය වන විට, එනම් අවුරුදු සිය ගණනකට පසුව කාලයේදී රාවණා විසින් සියළුම දිව්‍ය හා මනුෂ්‍ය වර්ගයා වෙත සිත ආධිපත්‍ය පතුරුවා සිටි බව පැහැදිලි වේ. රාවණා කෙතරම් අනගිබවනීය ලෙස බලසම්පන්නව සිටියාද යත් ඔහුට තමාට අවශ්‍ය පරිදි හිරුගේ නැගීම - බැසීම පවා පාලනය කළ හැකිව තිබුණු බව පැවසේ.....

ලිපි


විද්‍යුත් ලිපි මගින් සම්බන්ද වෙන්න

315401
යාවත්කාලීනය: 05-09-2014