Image Caption

රාම රාවණා යුද්ධයේ සිතුවමක්

Image Caption

සක්වල චක්‍රයේ අභිරහස

Image Caption

යුද්ධය පිළිබිඹු කරන පැරණි කැටයමක්

  • ප්‍රවර්ග
    ප්‍රවර්ග ප්‍රවර්ග සියල්ල ලැයිස්තුවක් ලෙස පෙන්වයි.
  • ප්‍රවර්ග
    ප්‍රවර්ග සම්බන්ධිත ප්‍රවර්ග ලැයිස්තුවක් ලෙස පෙන්වයි.

රාවණ ඉතිහාසය

රාවණ ඉතිහාසය

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් රචිත රාවණවත - රාවණ පිළිබඳ බොහෝ කරුණු රාශියක් මෙම රාවණාවත නමැති මෙම කෘතිය මගින් හෙළිකරයි. ඓතිහාසික වැදගත් සංසිද්ධීන් අතර ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස රවණා ගේ පැමිණීම සදහන් කළ හැකිය.

සරසවි පොත්හල - https://sarasavi.lk/Book/Rawanawatha-9556651853

වැදුම්: 2753
0

රාවණා රජු පිළිබඳව විවිධ වූ කථා ඈත ගම්වල ජනතාව අතර තවමත් ඇත්තේය. මේ ඇතැම් පුරාවෘත්ත එම ගම්වල යම් යම් ස්ථාන හා බැඳී පවතී. මේ කියන්නට යන කතාවද එසේමය. මෙහි කොතරම් දුරට සත්‍යතාවක් ඇද්ද යන්න අපි නොදනිමු. එහෙත් මේ ස්ථානයේ ඇති අරුම පුදුම බවත්, සුන්දරත්වයත්, නිසාම මෙතැන ආරක්ෂා කරගත යුතුය යන්න පිළිබඳව වගකිවයුත්තන්ට කියන්නටත්, දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත සිත මේ කෙරෙහි යොමු කරවීමේ අරමුණ ඇතිව අපි මෙය ඔබට කියන්නෙමු.

මේ අතීත කතාවයි, ඒ කතාව අපට කීවේ පණ්ඩිතයාකුඹුර ගමේ ධර්මසේන,

රාවණා රජ්ජුරුවෝ සීතා කුමරිය පැහැරගෙන ඇවිත් ලංකාවේ තැනින් තැන සඟවා තබාගෙන ඉඳලා තියෙනවා. රාවණා රජු සොරා ගෙන ආ සීතා කුමරිය සොයන්නට ලංකාවට ආවේ 'හනුමාන්' නම් වානර රජු. ඔහු දවසක් සීතා කුමරිය සොයමින් යන අතරේ රාවණා රජු ඔහු දුටුවා. ඒ වනවිට සීතා කුමරිය හිටියේ දියපහරක් අද්දර. රාවණා රජු කල්පනා කළා හනුමාන් සීතා දුටුවොත් ඔහුට ඇය දෙන්නට සිදුවන බව. ඒ නිසා ඔහු කපටි කමක් කරන්නට සිතා සීතා රෙදිකඩකින් වසා දැමුවා.

ඉන්පසුව රාවණා රජු හනුමාන්ට කිව්වලු සීතා කුමරියට බෝවන කුෂ්ට රෝගයක් තියෙනවා. ඒ රෝගය සුවකිරීමට නම් දඹදිව ඇති ගරුඬ පාෂාණයෙන් කෑල්ලක් ගෙනැල්ලා දෙන්න කියලා. හනුමාන් එසැනින්ම ඉන්දියාවට ගිහින් තිබෙනවා. නමුත් ඔහු ගරුඩ පාෂාණය ගෙනෙන විට සීතා හෝ රාවණා රජු එහි දකින්නට ඉඳලා නැහැ. හනුමාන් ගරුඬ පාෂාණය ඒ දියපහර අද්දරම දමලා ගිහින් තියෙනවා.

ඔය අතර රාවණා රජු ඊට ඈතින් පෙනෙන කඳු උඩ තිබෙන ගල්ලෙන් පංචයේ (ගල්ලෙන් පහක) සීතා කුමරිය සඟවා තබා තිබෙනවා. අදටත් මේ ගමේ අය අතර තිබෙන විශ්වාසයක් තමයි සුව නොවන කුෂ්ට රෝගයක් තිබුණොත් ඊට ප්‍රතිකාරයක් ලෙස ගරුඩ ගල් කෑල්ලක් දෙහි ඇඹුලෙන් උරච්චි කර ගෑවහම රෝගය සුවවෙනවා කියන එක.

මේ කතාව බොහෝ පැරැණිය. එහෙත් අතීතයේ සිට පැවත එන ගරුඩ පාෂාණය සහිත දියපාර නම් තවමත් නිරුපද්‍රිතව අපට දැකගැනීමට හැකිය.

කොහේද මේ ගරුඩ පාෂාණය හෙවත් ගරුඬගල තිබෙන්නේ? ඔබේ හිතට කුතුහලයක් ගෙනෙනු ඇත.

නුවරඑළියේ සිට රාගලට ගිය අපි රාගලින් මන්ත්‍රිතැන්න හරහා වැටී ඇති මාවතේ ගමන් කළෙමු. කැරට්, බීට්, අල, ගෝවා ආදී වගාබිම් මැදින් ද තේ වතු, මැදින් ද යන ගමන බෙහෙවින් සොඳුරුය. මධ්‍යහනයේ වුවද සීතලෙන් ආරක්ෂා වීමට උඩු කබා හැඳගනිමින් එළවළු පාත්තිවල යුහුසුළුව වැඩ කරන ගැහැනුන් පිරිමින්ගේ දසුන අපූරු ය. අපි රාගල සිට කිලෝමීටර් තුනක් පමණ ගියෙමු.

"මෙතැනින් එහා නම් යන්න බැහැ. පේනවනේ පාරේ හැටි"

අපට මඟ පෙන්වන්නට ගිය මන්ත්‍රීතැන්නේ මේනක ධර්මප්‍රිය හා ධර්මදාස මැසිවිලි නඟති.

එතැන් සිට කිලෝමීටර් එක හමාරක් පමණ අප ගියේ ත්‍රිරෝද රියකිනි.

"මේ ගමේ කෙනෙක්ට ලෙඩක්, හැදුණොත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි රෝහලකට රැගෙන යන එක. පාර අබලන් නිසා යන්න අමාරුයි. ත්‍රිරෝද රථවල යට ගල්වල වදිනවා. ඒත් අමාරු ලෙඩෙක් ගෙනියන කොට පුළුවන් තරම් ඉක්මනට රෝහලට යන්නයි බලන්නේ."

අසීරු මඟේ ත්‍රිරෝද රථය ධාවනය කරමින් සඳරුවන් පවසයි. අපි ඔහු හා කිලෝමීටර් එකහමාරක් පමණ ඔබ්බට ගියෙමු.

ගරුඬ පාෂාණය නැරඹිමට පැමිණි අය එයට හානිකරන අයුරු

එතැන් සිට අපි ගරුඩගල සොයා පා ගමනින් ගමන ඇරැඹුවෙමු. දුර්ලභ ඖෂධ වර්ග මෙන්ම වටිනා දැව ශාඛයන්ගෙන් හෙවණ වූ මඟ ඇත්තේ නිසොල්මන් බවකි. පරිසරය බෙහෙවින් නිහඬය. පාළුය. පල්ලම් බසිමින් ගිය අපි එක්තැනකදී මඟ නතර වුනෙමු. එතැන බෙහෙවින් ලිස්සන සුළුය. රූස්ස ගසක අත්තක එල්ලී පහළට බසින්නට අපි උත්සාහ දැරුවෙමු. වේලාව සවස තුනහමාරට හතරට පමණ ඇත. එහෙත් ඒ අවට පරිසරය බෙහෙවින් අන්ධකාරය. ඈතින් හඹා වැටෙන දියඇල්ලේ හඬත් රැහැයියන්ගේ හඬත් පරිසරයේ ඇති නිසලතාව බිඳ දමයි. බිඳී යන ඒ නිසලතාව මැදින් ඇසෙන්නේ ගලකින් ගලකට ගසන හඬකි.

තෙතබරිත පාරේ ගිය අපි ගරුඩ පාෂාණය සහිත දියපහරට ළංවුණෙමු. ගමනේ දුෂ්කරතාව එතැනින් නිමා විය. නෙතට හසුවූයේ අපූරු පාෂාණ තලාවක සොඳුරු බවකි. එහෙත් එහි සුන්දරත්වය බිඳිමින් සිතට ආවේ සියුම් කනගාටුවකි.

"ඕක තමයි වෙලා තියෙන දේ. මේක බලන්න යන එන අය ගල කඩාගෙන යනවා. කාලෙකට කලින් හාමුදුරුවෝ කෙනෙකුත් මෙතන මහා පරිමාණයෙන් ගල කැඩුවා. ඒත් කවුරුවත් ඒ ගැන අවධානයක් යොමු කළේ නැහැ. පත්තරවල මේ ගරුඩගල ගැන ගියාට පස්සේ ක්‍රමයෙන් මෙතැනට එන පිරිස වැඩිවෙලා තියෙනවා."

මන්ත්‍රීතැන්න ගමේ මේනක පවසන්නේ කනගාටුවෙනි. ගරුඩ පාෂාණය ඔවුන්ගේ ගමට ආඩම්බරයකි. ශ්‍රී ලංකාවේ හැරුණ විට මෙවැනි නිල් ගරුඩ පාෂාණයක් දැකිය හැක්කේ ඉන්දියාවේදී පමණක් බව ඔවුන්ගේ මතයයි.

අප එහි යනවිටද දේශීය සංචාරක දෙපිරිසක්ම එහි පැමිණ සිටියහ. ගරුඩ පාෂාණය තෙමාගෙන වැටෙන දියපහර බෙහෙවින් සීතලය. එමෙන්ම පරිසරයද සිහිලැල්ය. අපේ ගමේ පවුල් එකසිය විස්සක් විතර ජීවත් වෙනවා. රාගල ඉඳලා ගරුඬ ගල ගාවට කිලෝමීටර් දහයක් විතර එන්න ඕන. මන්ත්‍රීතැන්න ගම පහුකරලා ආවට පස්සේ පණ්ඩිතයාකුඹුර ගමට තමයි මේ නිල්ගරුඬ ගල අයිතිය තිබෙන්නේ. මෙතැනට එන්න තවත් පාරවල් දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ වලපනේ, රුපහා පාර හරහා. අනෙක් පාර තියෙන්නේ උඩුපුස්සැල්ලෑව හරහා. කොහොම වුණත් එතැනට යන්න ළඟම පාර තමයි රාගල මන්ත්‍රීතැන්න හරහා පාර. මේ දියපාර පටන් ගන්නේ පණ්ඩිතයා කුඹුර ඉහළ කොටසින්. දියපහර ගලාගෙන යන්නේ රූපහා ඔය හරහා මහවැලි ගඟට. මේ පාෂාණයේ විවිධ පාට වර්ග තිබෙනවා. අපිට පැහැදිලිවම දකින්න පුළුවන් පාට වර්ග කිහිපයක් ම තිබෙනවා. කිරිපාට, සුදුපාට, තදකොළ පාට, කළු පාට හා රෝස පාට ඒ අතර වෙනවා. මේක ගැන තවමත් හරියට සොයා බැලීම් කෙරිලා නැහැ. නමුත් මේ කලාපය රක්ෂිත කලාපයක්. මේවගේ දුර්ලභ ගනයේ පාෂාණයක් අපේ ගම ආශ්‍රිතව තිබෙන එක අපිට ලොකු ආඩම්බරයක්. නුවරඑළියට බොහෝ සංචාරකයෝ එනවා. ඒ එන අයට මෙතැන බලන්න එන්න පුළුවන්. ඒත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි හරිහමන් මාර්ගයක් නැතිකම.

පණ්ඩිතයාකුඹුර ගමේ ආරියපාල පවසන්නේය.

ගම්මුන්ට ඇති ලොකුම අඩුපාඩුව ගමට හරිහමන් පාරක් නොමැතිකමය. එහෙත් ගරුඬ පාෂාණය බැලීමට කැමැත්තෝ ඒ දුෂ්කර ගමන කෙසේ හෝ පැමිණෙති. එසේ පැමිණි කෙනෙකි. එස්.එම්. නයනා.

"මම දැන් පදිංචිවෙලා ඉන්නේ නුවර. අපේ අම්මගෙ ගම කරඳගොල්ල. මම පුංචි කාලේ මෙතැනට ඇවිත් තියෙනවා. එතකොට මගෙ වයස අවුරුදු නවයයි. දැන් මගෙ වයස අවුරුදු තිස් අටයි. ඉස්සර මෙතැනට එන්න හරිම අමාරුයි. අඩිපාරක් විතරයි තිබුණේ. අපි පොඩි කාලේ එනකොටත් එක එක්කෙනා මේක කඩාගෙන යනවා. ඒ කාලේ මීට වඩා ගරුඬ ගල තිබුණා. මම නව වතාවක් විතර මෙතැනට ඇවිත් තියෙනවා. මගෙ දුවට අවුරුදු නවයයි. මේ පාර මගෙ දුවත් ආවා. මේ පරිසරය හරිම සිහිලැල් මං මෙතැනට හරිම ආසයි. ඒ හින්දමයි ගමන අමාරු වුණත් ගමට ආවහම මෙතැනට ගොඩවෙලා යන්නේ."

ගරුඬගල බලන්නට යන කවුරුත් පාහේ නිතර දෙවේලේ එහි යාමට කැමැතිය. විශේෂයෙන්ම ප්‍රදේශයේ කොලු කුරුට්ටන් නිතර එහි ගැවසෙති. ඔවුහු තම ගමේ සම්පත රැක ගැනීමට මෙන් ගරුඬගල බැලීමට යන අයගේ පසුපසම යති. මේ නිසා සීතල ජලයේ වුවද දවසට දෙවරක් තුන් වරක් පැන නෑමට ඔවුහු මැලි නොවෙති. අපත් සමඟම ගඟ පෙන්වන්නට ගිය අසංක, උෂින්, ඉසුරු තිදෙනාද එසේමය.

ගමේ අය කවුරුත් එක හඬින් කරන්නේ එකම ඉල්ලීමකි. හැත්තෑ හැවිරිදි ආර්.එම්. ධර්මසේනගේ ද ඉල්ලීම ඒකය.

"මම පුංචි කාලේ ඉඳලම ඔතැනට යනවා. පුංචි කාලේ අපි යද්දී අඩි පාරක් තිබුණේ. මේ ගරුඬ පාෂාණය ආරක්ෂා කරගන්න, ඒක තමයි වැදගත්ම දේ. අපේ ගමට ඒක ආඩම්බරයක්.

සවස පහ හය වන විට පරිසරය අන්ධකාරයට හැරෙයි. ඈත නම නොදන්නා කඳු පේලි මීදුමින් වැසී ගොස්ය. කාලයක් තිස්සේ කැලයෙන් වැසී තිබූ පණ්ඩිතයාකුඹුර ගම හා ඒ අවට ගම්මාන හඳුනාගෙන තිබූ නිල් ගරුඬ ගල ක්‍රමයෙන් ජනාකීර්ණ වන්නට පටන් ගෙන ඇත. හෙට අනිද්දා වනවිට එහි යන එන පිරිස වැඩිවේවි. ඉතින් කරන්නට එක ඉල්ලීමක් ඇත. මේ දුර්ලභ පාෂාණය හා ඒ ආශ්‍රිත දියපහර බොහෝ වටින්නේය. එය සුරැකීම එහි යන එන හැමගේම වගකීමයි.

"විශේෂ ස්තුතිය" රාගල මේනක ධර්මප්‍රිය, කුරුවිට නිහාල් වික්‍රමරත්න හා රත්නපුර කමල් ගුණරත්න සොයුරන්ට.

ඡායාරූප - විමල් කරුණාතිලක

උපුටා ගැනීම - http://www.silumina.lk/2012/03/18/_art.asp?fn=as1203183

වැදුම්: 3013
0

ගෞතම බුදුන්ට කළින් සිට පැවත එන එනම් කාශ්‍යප බුදුන් සමයේ යැයි සිතිය හැකි ආරාම සංකීර්ණයක් විය යුතුයි. මෙම ස්ථානය ගෞතම බුදුන්ටත් කලින් මෙරට සිරිලක පහළවූ ශ්‍රේෂ්ඨ රජකෙනෙකු විසින් පරිහරණය කොට පසුව මහා සංඝයාට පිදූ පුදබිමක් ලෙස විශ්වාස කෙරේ.

වැදුම්: 2511
0

ලංකේෂ්වර රාවණයන් පිළිබඳ කතිකාවතක් නැවත සමාජය පුරා මතුවී තිබේ. එම කතන්දරවල සත්‍ය අසත්‍යතාවය සොයන්නට අපි උත්සාහ නොකරන්නේ එසේ හෝ රාවණ පිළිබඳ නැවත කියවාබැලීමක් සිදුවිය යුතුම නිසාය. අතීතයේ වැළලී තිබූ ශ්‍රේෂ්ඨ මිනිසකුගේ මළසිරුර යළිත් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට අපි උත්සාහ දරමු. එයට හේතුව මෙම මරණය අභිරහසක් වූ නිසා පමණක් නොව ශ්‍රේෂ්ඨ ජාතියක අභිමානය එමගින් යළිත් ලෝකයට හඬගා පවසන හෙයිනි. අදින් වසර 6000කට පමණ පෙර මෙරට විසූ මෙම ශ්‍රේෂ්ඨ මිනිසා නමින් මහා රාවණය. රාවණගේ යුගය පිළිබඳව මෙරට ලිඛිත ඉතිහාසයේ වැඩි යමක් සඳහන්ව නැතත් ඉන්දියානු ඉතිහාසයේ ඔහු පිළිබඳව දීර්ඝ විස්තරයක් කිරීමට තරම් වාල්මිකී කරුණාවන්ත වීම එක්තරා භාග්‍යයකි. එහෙත් වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ රාවණ ඉදිරියේ කළු පැල්ලමක් තබන්නට ඔහු උත්සාහ දරා ඇත්තේ ඇතැම් විට එවකට ඉන්දියානු පාලකයන්ගේ බලපෑම නිසා වන්නට ඇත. එනිසාම රාවණගේ සැබෑ කතන්දරය කුමක් දැයි අද වනවිට බොහෝ දෙනෙකු ගවේෂණය කිරීමට උත්සාහ දැරීම යහපත් ප්‍රවණතාවයකි.

සැබැවින්ම රාවණ යනු විශ්වීය මෙන්ම විශ්මීය මිනිසකු යැයි අපට සිතෙන්නේ ඔහු ඉන්දියාවේ කොටසක් හා සමස්ත ලංකාවම පාලනය කළ නිසා පමණක් නොව ඔහු සතුව තිබූ අධිතාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ ඥානය නිසාය. මින් වසර 6000කට පෙර ගුවන්යානා නිපදවිය හැකි තාක්ෂණයක් හා අදහාගත නොහැකි තරම් පුදුම සහගත වූ වෛද්‍ය විද්‍යාවක් මෙරට තිබූ බව වාල්මිකී විසින් පළමුවරට ලොවට හෙළිකරයි. එහෙත් රාම-රාවණා යුද්ධයේදී එම රහස් සියල්ල වැළලී ගිය ආකාරයත් ඔහු රාමායනය මගින් පෙන්වාදෙයි. සැබැවින්ම රාවණ යනු ලෝකයේ පහල වූ බලසම්පන්නම පුද්ගලයකු බව එම සාක්ෂිවලින් පැහැදිලි නොවන්නේද? අප මේ උත්සාහ දරන්නේ අපගේම ඉතිහාසයේ වැළලීගිය මහා යුගපුරුෂයකුගේ සැබෑ තොරතුරු අනාවරණය කිරීමටය. ඒ අප මෙතෙක් අසා තිබූ රාමායනයේ පවතින සාවද්‍ය ප්‍රකාශන නිවැරදි කිරීමට මේ හොඳම කාලය වන නිසාය.

ලංකා රාජ්‍යය ගොඩනැගුවේ රාවණ නොවේය. එය ගොඩනැගුවේ ඔහුගේ ආදීතම මුතුන්මිත්තන් විසිනි. ඔවුන් අතරින් සූර්යපුත්‍ර, සූර්ය පුත්‍රගේ පුත් ධර්මරාජ, ඔහුගේ පුත් හේතිරාක්ෂස, ඔහුගේ පුත් විද්‍යුත්කේෂ, ඔහුගේ පුත් සුකේෂ හා සුකේෂගේ පුත් සුමාලි ප්‍රධානතම වේ. සුමාලි යනු රාවණගේ මුත්තණුවන්ය. සුමාලිගේ පුත්‍රයා පුලත්‍ය ඍෂිවරයාණන් වූ අතර, ඔහුගේ පුත්‍රයා වූයේ විශ්‍රාවාස මුනිවරයා නැතහොත් රාවණගේ පියාණන්ය. රාවණ උපන්නේ ලංකාවේ නොව ඉන්දියාවේ නර්මදා නදිය අසබඩ ප්‍රදේශයකය. සුමාලි මුත්තණුවන් විසින් ඉතා දියුණු රාජ්‍යයක් බවට පත්කර තිබූ ලංකා රාජ්‍යය නැතහොත් මිණිමිහි දේශය ඒ වනවිට පාලනය කරනු ලැබුවේ වෛශ්‍රාවන නම් රජකු විසිනි. කූඨ උපක්‍රමයක් මගින් ලංකා රාජ්‍යය තමන් යටතට ගත් වෛශ්‍රාවන එහි සැබෑ උරුමක්කරුවන්ගෙන් උදුරා‍ගෙන තිබිණි. භාරතය පුරා පැතිරී තිබූ සත්ව බිලිපූජා හා බමුණන්ගේ හිංසාවාදී ආගමික පිළිවෙත් වලට විරුද්ධව යමින් සුමාලි විසින් කරන ලද යුද්ධයේදී බමුණන් පළවාහැරීමට සුමාලිට හැකිවුවත් විෂ්ණු නමැති පාලකයා විසින් සුමාලි පරාජයට පත්කර ලංකා රාජ්‍යය වෛශ්‍රාවනට පවරාදෙනු ලැබීය.

එවකට භාරතය යනු ලොව ‍දූෂිතම රාජ්‍යයන්ගෙන් එකක් බව මෙහිදී අපට මනාව සනාථවේ. රාවණගේ පරපුර යනු අතිශය අවිහිංසාවාදී හා සියලු සත්වයන්ගේ සුභසිද්ධිය උදෙසා දැවැන්ත අරගල කරන ලද පරපුරක් බව ඉතිහාසය සාක්ෂි දරයි. එහෙත් එම ඉතිහාසය විකෘති කරමින් රාමායනය ලියන ලද වාල්මිකී, බ්‍රාහ්මණයන්ගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා රාවණගේ පරපුර රාක්ෂයින් ලෙස හැඳින්වීම කෙතරම් සාවද්‍යදැයි අපට සිතේ.

කෙසේ වුවද මිණිමිහි දේශයේ නැතහොත් ලංකාවේ සැබෑ උරුමය සියතට ගත් රාවණා ඊට වසර ගණනාවකට පසුව ලංකා රාජ්‍ය යටත් කොටගෙන ලංකාවේ රජු බවට පත්වන්නේ සියලු ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙළපැමිණියකු ලෙසය. ඔහු වෛශ්‍රාවනට අභයදානය දී ඉන්දියාවට පිටුවහල් කරන්නේ සිරකරුවකු ලෙස නොව ඉන්දියාවේ තම පියාට අයත්ව තිබූ ප්‍රදේශයක භාරකාරත්වයටද පත්කරමිනි.

රාවණා ලංකා රාජ්‍යයේ අගරජු බවට පත්වන්නේ තනි පුද්ගලයකු ලෙස නොව ඔහුගේ සහෝදර සහෝදරියන්ද එහි භාරකාරත්වයට පත්කර ගනිමිනි. ඔහුගේ සහෝදරයන් වූ කුම්භකර්ණ, බර, දූෂණ, විභීෂණ යන අයට මෙන්ම රාවණාගේ නැගණිය වූ සුපර්ණකා කුමාරියටද රාජ්‍යයේ ඉහළ තනතුරු හිමිවිය. සුපර්ණකා යනු එකල සමස්ත ඉන්දියාවේම සිටි අභිරූමතියකි. රාවණාගේ හා සුපර්ණකාගේ බැඳීමට සමාන සහෝදර බැඳීමක් වෙනත් පුරාවෘත්ත වලින් සොයාගැනීමට අපහසුය. රාවණා රාජ්‍යය කරද්දී සුපර්ණකා ඔහුගේ උපදේශිකාව වූවා පමණක් නොව මුලසිටම ඇගේ ක්‍රියාකලාපය පරම අවිහිංසාවාදී වූ බව රාජ්‍යයේ ඇතැම් ගැටළු නිරාකරණයේදී ගත් පියවර මගින් අපට මනාව පසක්වේ. රාජ්‍ය පාලනයේදී රාවණ විසින් ගනුලැබූ වැරදි සහගත තීරණයක්ද වේ. එනම් විභීෂණට යුවරාජ තනතුර ලබාදීමය. විභීෂණ යනු කුඩාකල සිටම රාවණට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය නියෝජනය කළ පුද්ගලයකු බව දැනදැනත් තම සහෝදරකම සලකා රාවණා විසින් ඔහුට යුවරාජ තනතුර ලබාදෙන්නේ මතුවන විපත දැනද, නැතිනම් නොදැනද යන්න මෙහිදී පැහැදිලි නොවේ.

කෙසේ වුවද රාවණ ලංකාපුරය ලෝකයේ ශ්‍රේෂ්ඨතම රාජ්‍යයේ බවට පත්කර පරම අවිහිංසාවාදය පතුරවමින් මෙතෙක් කිසිවකට සමකළ නොහැකිවූ අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරමින්, නොයෙකුත් විද්‍යාවන් පිළිබඳ පොතපත ලියමින් රාජ්‍යයට පාලනය ගෙනයයි. යාගහෝම කරමින් බිලිපූජා පවත්වමින් තම පැවැත්ම සකස් කරගෙන සිටි ඉන්දියාවේ බමුණන් රාවණගේ නීතිරීති නිසා තවදුරටත් එම කටයුතු සිදුකරගත නොහැකිව රාවණ කෙරෙහි වෛර බඳිමින් ඔහු විනාශ කිරීමට නොයෙකුත් කූඨ උපක්‍රම ක්‍රියාත්මක කිරීමට පටන්ගන්නේ මෙම අවධියේදීය. භාරතයේද දශරථ රජුගේ පුත්‍රයන් දෙදෙනා වන රාම හා ලක්ෂ්මණ මේ කටයුත්ත සඳහා ඔහුන් යොදාගනු ලබයි. වනවාසයට ගොස් සිටින රාම හා ඔහුගේ බිරිඳ සීතා මෙන්ම ලක්ෂ්මණද දැන හෝ නොදැන බමුණන්ගේ මෙම උපක්‍රම වලට හසුවෙති. රාම යනු මහා උතුමෙක් ලෙස රාමයනයේ සඳහන් වුවද, ඔහු ස්ත්‍රීන් කෙරෙහි ලොල්වූ පුද්ගලයකු බව අපට පෙනෙන්නේ රාවණගේ නැගණිය වන සුපර්ණකා කුමරිය මහවනයේදී රාමාට මුණගැසීමත් සමඟය.

සුපර්ණකා දුටු පමණින් රාම ඇයට වශී වී සීතාද අමතක කර දමන්නට තරම් නින්දිත වේ. එහෙත් මෙය නොඉවසන ලක්ෂ්මණ බමුණන්ගේ ඉගැන්වීම් මත සුපර්ණකාගේ කන් හා නාසය කපා දමන්නට තරම් සැහැසි වේ. ගැහැනියකගේ කන් හා නාසය කපා දමන්නට තරම් පහත් හා අධම වූ මිනිසුන් දේවත්වයෙන් පුදන්නට තරම් ඉතිහාසය වැරදී ගියේ කෙසේ දැයි අපට නම් සිතාගත නොහැකිය. කෙසේ වුවද අවසානයේ දස වසරක් තරම් දීර්ඝ වූ මහා යුද්ධයක ආරම්භය සනිටුහන් වන්නේ එසේය. සුපර්ණකාගේ සිදුවීමට රාමගෙන් පළිගැනීමක් ලෙස රාවණා විසින් පුෂ්පක යානයෙන් සීතා රැගෙන ලංකාවට පැමිණෙයි. එහෙත් ඇය සිරකාරියක ලෙස සිරකර තැබීමට රාවණා කිසිම විටකදී උත්සාහ නොකරයි. සිරගෙයක් වෙනුවට අශෝක උයනේ මනරම් නිවසක් සාදවා සීතාව එහි රඳවා තබන රාවණා, රාමාත් සමඟ යුදවැදීමට කිසිදු උත්සාහයක් නොදරයි.

සාකච්ඡා කර ගැටළුව නිරාකරණය කරගැනීමට රාවණා දරන උත්සාහය අවසානයේදී අසාර්ථක වන්නේ දිගින්දිගටම රාම හා ලක්ෂ්මණ බමුණන් සමඟ එක්වී යුද්ධයකට අරඇඳීම නිසාවෙනි. මෙහිදී විභීෂණ තම සොහොයුරා වන රාවණගේ සියලු යුද රහස් රාමා අතට පත්කොට රාවණ පරදවාලීමට ඔහුගේ උපරිම දායකත්වය රාමාට හිමිකරදෙන්නේ රටත්, ජාතියත් මහා පාවාදීමකට ලක්කරමිනි. දස වසරක යුද්ධයෙන් පසුව රාවණ නම් අසහාය යුගපුරුෂයා, සුපර්ණකා කුමරියට සියලු දේ පවරා දී මිය යයි. රාමාට හෝ ලක්ෂ්මණටද මෙයින් කිසිදු යහපතක් හිමි නොවේ. සීතාව නිදහස් කරගත්තද බමුණන්ගේ‍ කේළාම් අසා රාමා ඇය අත්හැර දමයි. ඒ වනවිට ඇය රාමාගෙන් නිවුන් දරුවන් දෙදෙනකු ලබාසිටියද රාමාට ඒ කිසිවක් වැදගත් නොවේ. අග්නි පරීක්ෂණයේදී ඇගේ නිර්දෝෂීභාවය ලෝකයටම හෙළිවූ බව වාල්මිකීගේ රාමායනයේ සඳහන්ව ඇත.

දස වසරක් ලංකා පුරයේ රඳවාගෙන සිටි සීතාට රාවණගෙන් කිසිදු අන්ත්‍රාවක් නොවූ බව සනාථ වීමට එම ප්‍රකාශය ප්‍රමාණවත් නොවේද? එසේ නම් රාවණ යහපත් මිනිසකු නොවේ යැයි ඉතිහාසය තීන්දු කරන්නේ කෙසේද? මෙබඳු බො‍හෝ පරස් පරතා රාමායනය කෘතිය පුරාවටම ඇත. එසේ වන්නේ සත්‍ය සඟවා, හෘද සාක්ෂියට පිටුපා, රාමායනය රචනාකර ඇති නිසා බව පැහැදිලිය. කෙසේ වුවද රාමාගේ නොසැලකිල්ලෙන් සීතා හෙළකින් පහලට පැන සියදිවි නසාගන්නා අතර, ලක්ෂ්මණද රාමාගේ පිළිකුල් සහගත ක්‍රියා කලාපය නිසා අයෝධ්‍යවේ සයුර නදියට පැන සියදිවි නසා ගනී. අවසානයේ රාමාද එම නදියටම පැන සියදිවි නසාගත් බව ඉතිහාසයේ සඳහන් වේ. විභීෂණ ලංකාපුරයේ රජ වුවද, ඔහුගේ අවසාන කාලය දක්වා මිනිසුන් ඔහු රජකු ලෙස පිළිනොගත් බව සඳහන් වේ. එහෙත් මරණින් පසු ඔහු රාම මෙන්ම දෙවිකෙනකු වීම උභතෝකෝටිකයකි. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් මියගිය රාවණ අතීතයේ වැළලී යද්දී රාම හා විභීෂණ අනාගතයටත් පැමිණියේ කෙසේදැයි අපට නම් ගැටළුවකි. එයට සැබෑ හේතුව නම් එකල සිටම අද දක්වාත්, ඉන්දියානු බලපෑමෙන් තොරව මෙරට ජනයාට හුස්ම ගැනීමටවත් නොහැකිවීම නිසා වන්නට ඇතැයි අවසානයේ අපට සිතේ.

Lankagamdoranews

උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/main-news/93212/

ආශ්‍රිත ප්‍රවර්ග: රාමායනය රාවණ ඉතිහාසය රාවණ රජු
වැදුම්: 2083
0

ආශ්‍රිත ප්‍රවර්ග: රාවණ ඉතිහාසය වීඩියෝ දර්ශණ
වැදුම්: 1880
0

ලිපි


විද්‍යුත් ලිපි මගින් සම්බන්ද වෙන්න

327874
යාවත්කාලීනය: 05-09-2014