Image Caption

රාම රාවණා යුද්ධයේ සිතුවමක්

Image Caption

සක්වල චක්‍රයේ අභිරහස

Image Caption

යුද්ධය පිළිබිඹු කරන පැරණි කැටයමක්

  • ප්‍රවර්ග
    ප්‍රවර්ග ප්‍රවර්ග සියල්ල ලැයිස්තුවක් ලෙස පෙන්වයි.
  • ප්‍රවර්ග
    ප්‍රවර්ග සම්බන්ධිත ප්‍රවර්ග ලැයිස්තුවක් ලෙස පෙන්වයි.

'සීතා' සුව කරන්න රාවණා ඉන්දියාවෙන් ගෙන්වා ගත් ගරුඬගල

රාවණ ඉතිහාසය
  • වැදුම්: 3214
  • අදහස් 0

රාවණා රජු පිළිබඳව විවිධ වූ කථා ඈත ගම්වල ජනතාව අතර තවමත් ඇත්තේය. මේ ඇතැම් පුරාවෘත්ත එම ගම්වල යම් යම් ස්ථාන හා බැඳී පවතී. මේ කියන්නට යන කතාවද එසේමය. මෙහි කොතරම් දුරට සත්‍යතාවක් ඇද්ද යන්න අපි නොදනිමු. එහෙත් මේ ස්ථානයේ ඇති අරුම පුදුම බවත්, සුන්දරත්වයත්, නිසාම මෙතැන ආරක්ෂා කරගත යුතුය යන්න පිළිබඳව වගකිවයුත්තන්ට කියන්නටත්, දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත සිත මේ කෙරෙහි යොමු කරවීමේ අරමුණ ඇතිව අපි මෙය ඔබට කියන්නෙමු.

මේ අතීත කතාවයි, ඒ කතාව අපට කීවේ පණ්ඩිතයාකුඹුර ගමේ ධර්මසේන,

රාවණා රජ්ජුරුවෝ සීතා කුමරිය පැහැරගෙන ඇවිත් ලංකාවේ තැනින් තැන සඟවා තබාගෙන ඉඳලා තියෙනවා. රාවණා රජු සොරා ගෙන ආ සීතා කුමරිය සොයන්නට ලංකාවට ආවේ 'හනුමාන්' නම් වානර රජු. ඔහු දවසක් සීතා කුමරිය සොයමින් යන අතරේ රාවණා රජු ඔහු දුටුවා. ඒ වනවිට සීතා කුමරිය හිටියේ දියපහරක් අද්දර. රාවණා රජු කල්පනා කළා හනුමාන් සීතා දුටුවොත් ඔහුට ඇය දෙන්නට සිදුවන බව. ඒ නිසා ඔහු කපටි කමක් කරන්නට සිතා සීතා රෙදිකඩකින් වසා දැමුවා.

ඉන්පසුව රාවණා රජු හනුමාන්ට කිව්වලු සීතා කුමරියට බෝවන කුෂ්ට රෝගයක් තියෙනවා. ඒ රෝගය සුවකිරීමට නම් දඹදිව ඇති ගරුඬ පාෂාණයෙන් කෑල්ලක් ගෙනැල්ලා දෙන්න කියලා. හනුමාන් එසැනින්ම ඉන්දියාවට ගිහින් තිබෙනවා. නමුත් ඔහු ගරුඩ පාෂාණය ගෙනෙන විට සීතා හෝ රාවණා රජු එහි දකින්නට ඉඳලා නැහැ. හනුමාන් ගරුඬ පාෂාණය ඒ දියපහර අද්දරම දමලා ගිහින් තියෙනවා.

ඔය අතර රාවණා රජු ඊට ඈතින් පෙනෙන කඳු උඩ තිබෙන ගල්ලෙන් පංචයේ (ගල්ලෙන් පහක) සීතා කුමරිය සඟවා තබා තිබෙනවා. අදටත් මේ ගමේ අය අතර තිබෙන විශ්වාසයක් තමයි සුව නොවන කුෂ්ට රෝගයක් තිබුණොත් ඊට ප්‍රතිකාරයක් ලෙස ගරුඩ ගල් කෑල්ලක් දෙහි ඇඹුලෙන් උරච්චි කර ගෑවහම රෝගය සුවවෙනවා කියන එක.

මේ කතාව බොහෝ පැරැණිය. එහෙත් අතීතයේ සිට පැවත එන ගරුඩ පාෂාණය සහිත දියපාර නම් තවමත් නිරුපද්‍රිතව අපට දැකගැනීමට හැකිය.

කොහේද මේ ගරුඩ පාෂාණය හෙවත් ගරුඬගල තිබෙන්නේ? ඔබේ හිතට කුතුහලයක් ගෙනෙනු ඇත.

නුවරඑළියේ සිට රාගලට ගිය අපි රාගලින් මන්ත්‍රිතැන්න හරහා වැටී ඇති මාවතේ ගමන් කළෙමු. කැරට්, බීට්, අල, ගෝවා ආදී වගාබිම් මැදින් ද තේ වතු, මැදින් ද යන ගමන බෙහෙවින් සොඳුරුය. මධ්‍යහනයේ වුවද සීතලෙන් ආරක්ෂා වීමට උඩු කබා හැඳගනිමින් එළවළු පාත්තිවල යුහුසුළුව වැඩ කරන ගැහැනුන් පිරිමින්ගේ දසුන අපූරු ය. අපි රාගල සිට කිලෝමීටර් තුනක් පමණ ගියෙමු.

"මෙතැනින් එහා නම් යන්න බැහැ. පේනවනේ පාරේ හැටි"

අපට මඟ පෙන්වන්නට ගිය මන්ත්‍රීතැන්නේ මේනක ධර්මප්‍රිය හා ධර්මදාස මැසිවිලි නඟති.

එතැන් සිට කිලෝමීටර් එක හමාරක් පමණ අප ගියේ ත්‍රිරෝද රියකිනි.

"මේ ගමේ කෙනෙක්ට ලෙඩක්, හැදුණොත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි රෝහලකට රැගෙන යන එක. පාර අබලන් නිසා යන්න අමාරුයි. ත්‍රිරෝද රථවල යට ගල්වල වදිනවා. ඒත් අමාරු ලෙඩෙක් ගෙනියන කොට පුළුවන් තරම් ඉක්මනට රෝහලට යන්නයි බලන්නේ."

අසීරු මඟේ ත්‍රිරෝද රථය ධාවනය කරමින් සඳරුවන් පවසයි. අපි ඔහු හා කිලෝමීටර් එකහමාරක් පමණ ඔබ්බට ගියෙමු.

ගරුඬ පාෂාණය නැරඹිමට පැමිණි අය එයට හානිකරන අයුරු

එතැන් සිට අපි ගරුඩගල සොයා පා ගමනින් ගමන ඇරැඹුවෙමු. දුර්ලභ ඖෂධ වර්ග මෙන්ම වටිනා දැව ශාඛයන්ගෙන් හෙවණ වූ මඟ ඇත්තේ නිසොල්මන් බවකි. පරිසරය බෙහෙවින් නිහඬය. පාළුය. පල්ලම් බසිමින් ගිය අපි එක්තැනකදී මඟ නතර වුනෙමු. එතැන බෙහෙවින් ලිස්සන සුළුය. රූස්ස ගසක අත්තක එල්ලී පහළට බසින්නට අපි උත්සාහ දැරුවෙමු. වේලාව සවස තුනහමාරට හතරට පමණ ඇත. එහෙත් ඒ අවට පරිසරය බෙහෙවින් අන්ධකාරය. ඈතින් හඹා වැටෙන දියඇල්ලේ හඬත් රැහැයියන්ගේ හඬත් පරිසරයේ ඇති නිසලතාව බිඳ දමයි. බිඳී යන ඒ නිසලතාව මැදින් ඇසෙන්නේ ගලකින් ගලකට ගසන හඬකි.

තෙතබරිත පාරේ ගිය අපි ගරුඩ පාෂාණය සහිත දියපහරට ළංවුණෙමු. ගමනේ දුෂ්කරතාව එතැනින් නිමා විය. නෙතට හසුවූයේ අපූරු පාෂාණ තලාවක සොඳුරු බවකි. එහෙත් එහි සුන්දරත්වය බිඳිමින් සිතට ආවේ සියුම් කනගාටුවකි.

"ඕක තමයි වෙලා තියෙන දේ. මේක බලන්න යන එන අය ගල කඩාගෙන යනවා. කාලෙකට කලින් හාමුදුරුවෝ කෙනෙකුත් මෙතන මහා පරිමාණයෙන් ගල කැඩුවා. ඒත් කවුරුවත් ඒ ගැන අවධානයක් යොමු කළේ නැහැ. පත්තරවල මේ ගරුඩගල ගැන ගියාට පස්සේ ක්‍රමයෙන් මෙතැනට එන පිරිස වැඩිවෙලා තියෙනවා."

මන්ත්‍රීතැන්න ගමේ මේනක පවසන්නේ කනගාටුවෙනි. ගරුඩ පාෂාණය ඔවුන්ගේ ගමට ආඩම්බරයකි. ශ්‍රී ලංකාවේ හැරුණ විට මෙවැනි නිල් ගරුඩ පාෂාණයක් දැකිය හැක්කේ ඉන්දියාවේදී පමණක් බව ඔවුන්ගේ මතයයි.

අප එහි යනවිටද දේශීය සංචාරක දෙපිරිසක්ම එහි පැමිණ සිටියහ. ගරුඩ පාෂාණය තෙමාගෙන වැටෙන දියපහර බෙහෙවින් සීතලය. එමෙන්ම පරිසරයද සිහිලැල්ය. අපේ ගමේ පවුල් එකසිය විස්සක් විතර ජීවත් වෙනවා. රාගල ඉඳලා ගරුඬ ගල ගාවට කිලෝමීටර් දහයක් විතර එන්න ඕන. මන්ත්‍රීතැන්න ගම පහුකරලා ආවට පස්සේ පණ්ඩිතයාකුඹුර ගමට තමයි මේ නිල්ගරුඬ ගල අයිතිය තිබෙන්නේ. මෙතැනට එන්න තවත් පාරවල් දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ වලපනේ, රුපහා පාර හරහා. අනෙක් පාර තියෙන්නේ උඩුපුස්සැල්ලෑව හරහා. කොහොම වුණත් එතැනට යන්න ළඟම පාර තමයි රාගල මන්ත්‍රීතැන්න හරහා පාර. මේ දියපාර පටන් ගන්නේ පණ්ඩිතයා කුඹුර ඉහළ කොටසින්. දියපහර ගලාගෙන යන්නේ රූපහා ඔය හරහා මහවැලි ගඟට. මේ පාෂාණයේ විවිධ පාට වර්ග තිබෙනවා. අපිට පැහැදිලිවම දකින්න පුළුවන් පාට වර්ග කිහිපයක් ම තිබෙනවා. කිරිපාට, සුදුපාට, තදකොළ පාට, කළු පාට හා රෝස පාට ඒ අතර වෙනවා. මේක ගැන තවමත් හරියට සොයා බැලීම් කෙරිලා නැහැ. නමුත් මේ කලාපය රක්ෂිත කලාපයක්. මේවගේ දුර්ලභ ගනයේ පාෂාණයක් අපේ ගම ආශ්‍රිතව තිබෙන එක අපිට ලොකු ආඩම්බරයක්. නුවරඑළියට බොහෝ සංචාරකයෝ එනවා. ඒ එන අයට මෙතැන බලන්න එන්න පුළුවන්. ඒත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි හරිහමන් මාර්ගයක් නැතිකම.

පණ්ඩිතයාකුඹුර ගමේ ආරියපාල පවසන්නේය.

ගම්මුන්ට ඇති ලොකුම අඩුපාඩුව ගමට හරිහමන් පාරක් නොමැතිකමය. එහෙත් ගරුඬ පාෂාණය බැලීමට කැමැත්තෝ ඒ දුෂ්කර ගමන කෙසේ හෝ පැමිණෙති. එසේ පැමිණි කෙනෙකි. එස්.එම්. නයනා.

"මම දැන් පදිංචිවෙලා ඉන්නේ නුවර. අපේ අම්මගෙ ගම කරඳගොල්ල. මම පුංචි කාලේ මෙතැනට ඇවිත් තියෙනවා. එතකොට මගෙ වයස අවුරුදු නවයයි. දැන් මගෙ වයස අවුරුදු තිස් අටයි. ඉස්සර මෙතැනට එන්න හරිම අමාරුයි. අඩිපාරක් විතරයි තිබුණේ. අපි පොඩි කාලේ එනකොටත් එක එක්කෙනා මේක කඩාගෙන යනවා. ඒ කාලේ මීට වඩා ගරුඬ ගල තිබුණා. මම නව වතාවක් විතර මෙතැනට ඇවිත් තියෙනවා. මගෙ දුවට අවුරුදු නවයයි. මේ පාර මගෙ දුවත් ආවා. මේ පරිසරය හරිම සිහිලැල් මං මෙතැනට හරිම ආසයි. ඒ හින්දමයි ගමන අමාරු වුණත් ගමට ආවහම මෙතැනට ගොඩවෙලා යන්නේ."

ගරුඬගල බලන්නට යන කවුරුත් පාහේ නිතර දෙවේලේ එහි යාමට කැමැතිය. විශේෂයෙන්ම ප්‍රදේශයේ කොලු කුරුට්ටන් නිතර එහි ගැවසෙති. ඔවුහු තම ගමේ සම්පත රැක ගැනීමට මෙන් ගරුඬගල බැලීමට යන අයගේ පසුපසම යති. මේ නිසා සීතල ජලයේ වුවද දවසට දෙවරක් තුන් වරක් පැන නෑමට ඔවුහු මැලි නොවෙති. අපත් සමඟම ගඟ පෙන්වන්නට ගිය අසංක, උෂින්, ඉසුරු තිදෙනාද එසේමය.

ගමේ අය කවුරුත් එක හඬින් කරන්නේ එකම ඉල්ලීමකි. හැත්තෑ හැවිරිදි ආර්.එම්. ධර්මසේනගේ ද ඉල්ලීම ඒකය.

"මම පුංචි කාලේ ඉඳලම ඔතැනට යනවා. පුංචි කාලේ අපි යද්දී අඩි පාරක් තිබුණේ. මේ ගරුඬ පාෂාණය ආරක්ෂා කරගන්න, ඒක තමයි වැදගත්ම දේ. අපේ ගමට ඒක ආඩම්බරයක්.

සවස පහ හය වන විට පරිසරය අන්ධකාරයට හැරෙයි. ඈත නම නොදන්නා කඳු පේලි මීදුමින් වැසී ගොස්ය. කාලයක් තිස්සේ කැලයෙන් වැසී තිබූ පණ්ඩිතයාකුඹුර ගම හා ඒ අවට ගම්මාන හඳුනාගෙන තිබූ නිල් ගරුඬ ගල ක්‍රමයෙන් ජනාකීර්ණ වන්නට පටන් ගෙන ඇත. හෙට අනිද්දා වනවිට එහි යන එන පිරිස වැඩිවේවි. ඉතින් කරන්නට එක ඉල්ලීමක් ඇත. මේ දුර්ලභ පාෂාණය හා ඒ ආශ්‍රිත දියපහර බොහෝ වටින්නේය. එය සුරැකීම එහි යන එන හැමගේම වගකීමයි.

"විශේෂ ස්තුතිය" රාගල මේනක ධර්මප්‍රිය, කුරුවිට නිහාල් වික්‍රමරත්න හා රත්නපුර කමල් ගුණරත්න සොයුරන්ට.

ඡායාරූප - විමල් කරුණාතිලක

උපුටා ගැනීම - http://www.silumina.lk/2012/03/18/_art.asp?fn=as1203183

0

අදහස්

  • කිසිදු අදහසක් ලැබී නොමැත. පළමු අදහස ලබා දෙන්න.

ඔබේ අදහස ලබා දෙන්න

සෙනසුරාදා, 16 දෙසැම්බර් 2017

ලිපි


විද්‍යුත් ලිපි මගින් සම්බන්ද වෙන්න

344028
යාවත්කාලීනය: 05-09-2014