• ප්‍රවර්ග
    ප්‍රවර්ග ප්‍රවර්ග සියල්ල ලැයිස්තුවක් ලෙස පෙන්වයි.
  • ප්‍රවර්ග
    ප්‍රවර්ග සම්බන්ධිත ප්‍රවර්ග ලැයිස්තුවක් ලෙස පෙන්වයි.

රාවණ ඉතිහාසය

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් රචිත රාවණවත - රාවණ පිළිබඳ බොහෝ කරුණු රාශියක් මෙම රාවණාවත නමැති මෙම කෘතිය මගින් හෙළිකරයි. ඓතිහාසික වැදගත් සංසිද්ධීන් අතර ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස රවණා ගේ පැමිණීම සදහන් කළ හැකිය.

සරසවි පොත්හල - https://sarasavi.lk/Book/Rawanawatha-9556651853

වැදුම්: 2881
0

රාවණා රජු පිළිබඳව විවිධ වූ කථා ඈත ගම්වල ජනතාව අතර තවමත් ඇත්තේය. මේ ඇතැම් පුරාවෘත්ත එම ගම්වල යම් යම් ස්ථාන හා බැඳී පවතී. මේ කියන්නට යන කතාවද එසේමය. මෙහි කොතරම් දුරට සත්‍යතාවක් ඇද්ද යන්න අපි නොදනිමු. එහෙත් මේ ස්ථානයේ ඇති අරුම පුදුම බවත්, සුන්දරත්වයත්, නිසාම මෙතැන ආරක්ෂා කරගත යුතුය යන්න පිළිබඳව වගකිවයුත්තන්ට කියන්නටත්, දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත සිත මේ කෙරෙහි යොමු කරවීමේ අරමුණ ඇතිව අපි මෙය ඔබට කියන්නෙමු.

මේ අතීත කතාවයි, ඒ කතාව අපට කීවේ පණ්ඩිතයාකුඹුර ගමේ ධර්මසේන,

රාවණා රජ්ජුරුවෝ සීතා කුමරිය පැහැරගෙන ඇවිත් ලංකාවේ තැනින් තැන සඟවා තබාගෙන ඉඳලා තියෙනවා. රාවණා රජු සොරා ගෙන ආ සීතා කුමරිය සොයන්නට ලංකාවට ආවේ 'හනුමාන්' නම් වානර රජු. ඔහු දවසක් සීතා කුමරිය සොයමින් යන අතරේ රාවණා රජු ඔහු දුටුවා. ඒ වනවිට සීතා කුමරිය හිටියේ දියපහරක් අද්දර. රාවණා රජු කල්පනා කළා හනුමාන් සීතා දුටුවොත් ඔහුට ඇය දෙන්නට සිදුවන බව. ඒ නිසා ඔහු කපටි කමක් කරන්නට සිතා සීතා රෙදිකඩකින් වසා දැමුවා.

ඉන්පසුව රාවණා රජු හනුමාන්ට කිව්වලු සීතා කුමරියට බෝවන කුෂ්ට රෝගයක් තියෙනවා. ඒ රෝගය සුවකිරීමට නම් දඹදිව ඇති ගරුඬ පාෂාණයෙන් කෑල්ලක් ගෙනැල්ලා දෙන්න කියලා. හනුමාන් එසැනින්ම ඉන්දියාවට ගිහින් තිබෙනවා. නමුත් ඔහු ගරුඩ පාෂාණය ගෙනෙන විට සීතා හෝ රාවණා රජු එහි දකින්නට ඉඳලා නැහැ. හනුමාන් ගරුඬ පාෂාණය ඒ දියපහර අද්දරම දමලා ගිහින් තියෙනවා.

ඔය අතර රාවණා රජු ඊට ඈතින් පෙනෙන කඳු උඩ තිබෙන ගල්ලෙන් පංචයේ (ගල්ලෙන් පහක) සීතා කුමරිය සඟවා තබා තිබෙනවා. අදටත් මේ ගමේ අය අතර තිබෙන විශ්වාසයක් තමයි සුව නොවන කුෂ්ට රෝගයක් තිබුණොත් ඊට ප්‍රතිකාරයක් ලෙස ගරුඩ ගල් කෑල්ලක් දෙහි ඇඹුලෙන් උරච්චි කර ගෑවහම රෝගය සුවවෙනවා කියන එක.

මේ කතාව බොහෝ පැරැණිය. එහෙත් අතීතයේ සිට පැවත එන ගරුඩ පාෂාණය සහිත දියපාර නම් තවමත් නිරුපද්‍රිතව අපට දැකගැනීමට හැකිය.

කොහේද මේ ගරුඩ පාෂාණය හෙවත් ගරුඬගල තිබෙන්නේ? ඔබේ හිතට කුතුහලයක් ගෙනෙනු ඇත.

නුවරඑළියේ සිට රාගලට ගිය අපි රාගලින් මන්ත්‍රිතැන්න හරහා වැටී ඇති මාවතේ ගමන් කළෙමු. කැරට්, බීට්, අල, ගෝවා ආදී වගාබිම් මැදින් ද තේ වතු, මැදින් ද යන ගමන බෙහෙවින් සොඳුරුය. මධ්‍යහනයේ වුවද සීතලෙන් ආරක්ෂා වීමට උඩු කබා හැඳගනිමින් එළවළු පාත්තිවල යුහුසුළුව වැඩ කරන ගැහැනුන් පිරිමින්ගේ දසුන අපූරු ය. අපි රාගල සිට කිලෝමීටර් තුනක් පමණ ගියෙමු.

"මෙතැනින් එහා නම් යන්න බැහැ. පේනවනේ පාරේ හැටි"

අපට මඟ පෙන්වන්නට ගිය මන්ත්‍රීතැන්නේ මේනක ධර්මප්‍රිය හා ධර්මදාස මැසිවිලි නඟති.

එතැන් සිට කිලෝමීටර් එක හමාරක් පමණ අප ගියේ ත්‍රිරෝද රියකිනි.

"මේ ගමේ කෙනෙක්ට ලෙඩක්, හැදුණොත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි රෝහලකට රැගෙන යන එක. පාර අබලන් නිසා යන්න අමාරුයි. ත්‍රිරෝද රථවල යට ගල්වල වදිනවා. ඒත් අමාරු ලෙඩෙක් ගෙනියන කොට පුළුවන් තරම් ඉක්මනට රෝහලට යන්නයි බලන්නේ."

අසීරු මඟේ ත්‍රිරෝද රථය ධාවනය කරමින් සඳරුවන් පවසයි. අපි ඔහු හා කිලෝමීටර් එකහමාරක් පමණ ඔබ්බට ගියෙමු.

ගරුඬ පාෂාණය නැරඹිමට පැමිණි අය එයට හානිකරන අයුරු

එතැන් සිට අපි ගරුඩගල සොයා පා ගමනින් ගමන ඇරැඹුවෙමු. දුර්ලභ ඖෂධ වර්ග මෙන්ම වටිනා දැව ශාඛයන්ගෙන් හෙවණ වූ මඟ ඇත්තේ නිසොල්මන් බවකි. පරිසරය බෙහෙවින් නිහඬය. පාළුය. පල්ලම් බසිමින් ගිය අපි එක්තැනකදී මඟ නතර වුනෙමු. එතැන බෙහෙවින් ලිස්සන සුළුය. රූස්ස ගසක අත්තක එල්ලී පහළට බසින්නට අපි උත්සාහ දැරුවෙමු. වේලාව සවස තුනහමාරට හතරට පමණ ඇත. එහෙත් ඒ අවට පරිසරය බෙහෙවින් අන්ධකාරය. ඈතින් හඹා වැටෙන දියඇල්ලේ හඬත් රැහැයියන්ගේ හඬත් පරිසරයේ ඇති නිසලතාව බිඳ දමයි. බිඳී යන ඒ නිසලතාව මැදින් ඇසෙන්නේ ගලකින් ගලකට ගසන හඬකි.

තෙතබරිත පාරේ ගිය අපි ගරුඩ පාෂාණය සහිත දියපහරට ළංවුණෙමු. ගමනේ දුෂ්කරතාව එතැනින් නිමා විය. නෙතට හසුවූයේ අපූරු පාෂාණ තලාවක සොඳුරු බවකි. එහෙත් එහි සුන්දරත්වය බිඳිමින් සිතට ආවේ සියුම් කනගාටුවකි.

"ඕක තමයි වෙලා තියෙන දේ. මේක බලන්න යන එන අය ගල කඩාගෙන යනවා. කාලෙකට කලින් හාමුදුරුවෝ කෙනෙකුත් මෙතන මහා පරිමාණයෙන් ගල කැඩුවා. ඒත් කවුරුවත් ඒ ගැන අවධානයක් යොමු කළේ නැහැ. පත්තරවල මේ ගරුඩගල ගැන ගියාට පස්සේ ක්‍රමයෙන් මෙතැනට එන පිරිස වැඩිවෙලා තියෙනවා."

මන්ත්‍රීතැන්න ගමේ මේනක පවසන්නේ කනගාටුවෙනි. ගරුඩ පාෂාණය ඔවුන්ගේ ගමට ආඩම්බරයකි. ශ්‍රී ලංකාවේ හැරුණ විට මෙවැනි නිල් ගරුඩ පාෂාණයක් දැකිය හැක්කේ ඉන්දියාවේදී පමණක් බව ඔවුන්ගේ මතයයි.

අප එහි යනවිටද දේශීය සංචාරක දෙපිරිසක්ම එහි පැමිණ සිටියහ. ගරුඩ පාෂාණය තෙමාගෙන වැටෙන දියපහර බෙහෙවින් සීතලය. එමෙන්ම පරිසරයද සිහිලැල්ය. අපේ ගමේ පවුල් එකසිය විස්සක් විතර ජීවත් වෙනවා. රාගල ඉඳලා ගරුඬ ගල ගාවට කිලෝමීටර් දහයක් විතර එන්න ඕන. මන්ත්‍රීතැන්න ගම පහුකරලා ආවට පස්සේ පණ්ඩිතයාකුඹුර ගමට තමයි මේ නිල්ගරුඬ ගල අයිතිය තිබෙන්නේ. මෙතැනට එන්න තවත් පාරවල් දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ වලපනේ, රුපහා පාර හරහා. අනෙක් පාර තියෙන්නේ උඩුපුස්සැල්ලෑව හරහා. කොහොම වුණත් එතැනට යන්න ළඟම පාර තමයි රාගල මන්ත්‍රීතැන්න හරහා පාර. මේ දියපාර පටන් ගන්නේ පණ්ඩිතයා කුඹුර ඉහළ කොටසින්. දියපහර ගලාගෙන යන්නේ රූපහා ඔය හරහා මහවැලි ගඟට. මේ පාෂාණයේ විවිධ පාට වර්ග තිබෙනවා. අපිට පැහැදිලිවම දකින්න පුළුවන් පාට වර්ග කිහිපයක් ම තිබෙනවා. කිරිපාට, සුදුපාට, තදකොළ පාට, කළු පාට හා රෝස පාට ඒ අතර වෙනවා. මේක ගැන තවමත් හරියට සොයා බැලීම් කෙරිලා නැහැ. නමුත් මේ කලාපය රක්ෂිත කලාපයක්. මේවගේ දුර්ලභ ගනයේ පාෂාණයක් අපේ ගම ආශ්‍රිතව තිබෙන එක අපිට ලොකු ආඩම්බරයක්. නුවරඑළියට බොහෝ සංචාරකයෝ එනවා. ඒ එන අයට මෙතැන බලන්න එන්න පුළුවන්. ඒත් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි හරිහමන් මාර්ගයක් නැතිකම.

පණ්ඩිතයාකුඹුර ගමේ ආරියපාල පවසන්නේය.

ගම්මුන්ට ඇති ලොකුම අඩුපාඩුව ගමට හරිහමන් පාරක් නොමැතිකමය. එහෙත් ගරුඬ පාෂාණය බැලීමට කැමැත්තෝ ඒ දුෂ්කර ගමන කෙසේ හෝ පැමිණෙති. එසේ පැමිණි කෙනෙකි. එස්.එම්. නයනා.

"මම දැන් පදිංචිවෙලා ඉන්නේ නුවර. අපේ අම්මගෙ ගම කරඳගොල්ල. මම පුංචි කාලේ මෙතැනට ඇවිත් තියෙනවා. එතකොට මගෙ වයස අවුරුදු නවයයි. දැන් මගෙ වයස අවුරුදු තිස් අටයි. ඉස්සර මෙතැනට එන්න හරිම අමාරුයි. අඩිපාරක් විතරයි තිබුණේ. අපි පොඩි කාලේ එනකොටත් එක එක්කෙනා මේක කඩාගෙන යනවා. ඒ කාලේ මීට වඩා ගරුඬ ගල තිබුණා. මම නව වතාවක් විතර මෙතැනට ඇවිත් තියෙනවා. මගෙ දුවට අවුරුදු නවයයි. මේ පාර මගෙ දුවත් ආවා. මේ පරිසරය හරිම සිහිලැල් මං මෙතැනට හරිම ආසයි. ඒ හින්දමයි ගමන අමාරු වුණත් ගමට ආවහම මෙතැනට ගොඩවෙලා යන්නේ."

ගරුඬගල බලන්නට යන කවුරුත් පාහේ නිතර දෙවේලේ එහි යාමට කැමැතිය. විශේෂයෙන්ම ප්‍රදේශයේ කොලු කුරුට්ටන් නිතර එහි ගැවසෙති. ඔවුහු තම ගමේ සම්පත රැක ගැනීමට මෙන් ගරුඬගල බැලීමට යන අයගේ පසුපසම යති. මේ නිසා සීතල ජලයේ වුවද දවසට දෙවරක් තුන් වරක් පැන නෑමට ඔවුහු මැලි නොවෙති. අපත් සමඟම ගඟ පෙන්වන්නට ගිය අසංක, උෂින්, ඉසුරු තිදෙනාද එසේමය.

ගමේ අය කවුරුත් එක හඬින් කරන්නේ එකම ඉල්ලීමකි. හැත්තෑ හැවිරිදි ආර්.එම්. ධර්මසේනගේ ද ඉල්ලීම ඒකය.

"මම පුංචි කාලේ ඉඳලම ඔතැනට යනවා. පුංචි කාලේ අපි යද්දී අඩි පාරක් තිබුණේ. මේ ගරුඬ පාෂාණය ආරක්ෂා කරගන්න, ඒක තමයි වැදගත්ම දේ. අපේ ගමට ඒක ආඩම්බරයක්.

සවස පහ හය වන විට පරිසරය අන්ධකාරයට හැරෙයි. ඈත නම නොදන්නා කඳු පේලි මීදුමින් වැසී ගොස්ය. කාලයක් තිස්සේ කැලයෙන් වැසී තිබූ පණ්ඩිතයාකුඹුර ගම හා ඒ අවට ගම්මාන හඳුනාගෙන තිබූ නිල් ගරුඬ ගල ක්‍රමයෙන් ජනාකීර්ණ වන්නට පටන් ගෙන ඇත. හෙට අනිද්දා වනවිට එහි යන එන පිරිස වැඩිවේවි. ඉතින් කරන්නට එක ඉල්ලීමක් ඇත. මේ දුර්ලභ පාෂාණය හා ඒ ආශ්‍රිත දියපහර බොහෝ වටින්නේය. එය සුරැකීම එහි යන එන හැමගේම වගකීමයි.

"විශේෂ ස්තුතිය" රාගල මේනක ධර්මප්‍රිය, කුරුවිට නිහාල් වික්‍රමරත්න හා රත්නපුර කමල් ගුණරත්න සොයුරන්ට.

ඡායාරූප - විමල් කරුණාතිලක

උපුටා ගැනීම - http://www.silumina.lk/2012/03/18/_art.asp?fn=as1203183

වැදුම්: 3214
0

ඓතිහාසික සාධක

"Helawanshaya" "හෙළවංශය" තෙවන වැඩසටහන

දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටහනේ තෙවන වැඩසටහන.

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි..

වැදුම්: 1968
0

ඓතිහාසික සාධක

"Helawanshaya" "හෙළවංශය" දෙවන වැඩසටහන.

දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටහනේ දෙවන වැඩසටහන.

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි...

වැදුම්: 1983
0

ඓතිහාසික සාධක

දෙරණ නාලිකාවෙන් ප්‍රචාරය කරනු ලබන හෙළ වංශය වැඩසටහනේ පළමු වැඩසටහන.

"Helawanshaya" "හෙළවංශය"

ඔබෙන් වසන්ව ගිය එසේත් නැත්නම් ඔබෙන් හිතා මතා වසන් කළ ඒ මහා හෙළ ශිෂ්ඨාචාරය, ඓතිහාසික කාරනය යලිත් මතු කරන්නට අපට අවසරයි...

වැදුම්: 2230
0

ගෞතම බුදුන්ට කළින් සිට පැවත එන එනම් කාශ්‍යප බුදුන් සමයේ යැයි සිතිය හැකි ආරාම සංකීර්ණයක් විය යුතුයි. මෙම ස්ථානය ගෞතම බුදුන්ටත් කලින් මෙරට සිරිලක පහළවූ ශ්‍රේෂ්ඨ රජකෙනෙකු විසින් පරිහරණය කොට පසුව මහා සංඝයාට පිදූ පුදබිමක් ලෙස විශ්වාස කෙරේ.

වැදුම්: 2642
0

ලංකේෂ්වර රාවණයන් පිළිබඳ කතිකාවතක් නැවත සමාජය පුරා මතුවී තිබේ. එම කතන්දරවල සත්‍ය අසත්‍යතාවය සොයන්නට අපි උත්සාහ නොකරන්නේ එසේ හෝ රාවණ පිළිබඳ නැවත කියවාබැලීමක් සිදුවිය යුතුම නිසාය. අතීතයේ වැළලී තිබූ ශ්‍රේෂ්ඨ මිනිසකුගේ මළසිරුර යළිත් ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීමට අපි උත්සාහ දරමු. එයට හේතුව මෙම මරණය අභිරහසක් වූ නිසා පමණක් නොව ශ්‍රේෂ්ඨ ජාතියක අභිමානය එමගින් යළිත් ලෝකයට හඬගා පවසන හෙයිනි. අදින් වසර 6000කට පමණ පෙර මෙරට විසූ මෙම ශ්‍රේෂ්ඨ මිනිසා නමින් මහා රාවණය. රාවණගේ යුගය පිළිබඳව මෙරට ලිඛිත ඉතිහාසයේ වැඩි යමක් සඳහන්ව නැතත් ඉන්දියානු ඉතිහාසයේ ඔහු පිළිබඳව දීර්ඝ විස්තරයක් කිරීමට තරම් වාල්මිකී කරුණාවන්ත වීම එක්තරා භාග්‍යයකි. එහෙත් වාල්මිකී විසින් ලියන ලද රාමායනයේ රාවණ ඉදිරියේ කළු පැල්ලමක් තබන්නට ඔහු උත්සාහ දරා ඇත්තේ ඇතැම් විට එවකට ඉන්දියානු පාලකයන්ගේ බලපෑම නිසා වන්නට ඇත. එනිසාම රාවණගේ සැබෑ කතන්දරය කුමක් දැයි අද වනවිට බොහෝ දෙනෙකු ගවේෂණය කිරීමට උත්සාහ දැරීම යහපත් ප්‍රවණතාවයකි.

සැබැවින්ම රාවණ යනු විශ්වීය මෙන්ම විශ්මීය මිනිසකු යැයි අපට සිතෙන්නේ ඔහු ඉන්දියාවේ කොටසක් හා සමස්ත ලංකාවම පාලනය කළ නිසා පමණක් නොව ඔහු සතුව තිබූ අධිතාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ ඥානය නිසාය. මින් වසර 6000කට පෙර ගුවන්යානා නිපදවිය හැකි තාක්ෂණයක් හා අදහාගත නොහැකි තරම් පුදුම සහගත වූ වෛද්‍ය විද්‍යාවක් මෙරට තිබූ බව වාල්මිකී විසින් පළමුවරට ලොවට හෙළිකරයි. එහෙත් රාම-රාවණා යුද්ධයේදී එම රහස් සියල්ල වැළලී ගිය ආකාරයත් ඔහු රාමායනය මගින් පෙන්වාදෙයි. සැබැවින්ම රාවණ යනු ලෝකයේ පහල වූ බලසම්පන්නම පුද්ගලයකු බව එම සාක්ෂිවලින් පැහැදිලි නොවන්නේද? අප මේ උත්සාහ දරන්නේ අපගේම ඉතිහාසයේ වැළලීගිය මහා යුගපුරුෂයකුගේ සැබෑ තොරතුරු අනාවරණය කිරීමටය. ඒ අප මෙතෙක් අසා තිබූ රාමායනයේ පවතින සාවද්‍ය ප්‍රකාශන නිවැරදි කිරීමට මේ හොඳම කාලය වන නිසාය.

ලංකා රාජ්‍යය ගොඩනැගුවේ රාවණ නොවේය. එය ගොඩනැගුවේ ඔහුගේ ආදීතම මුතුන්මිත්තන් විසිනි. ඔවුන් අතරින් සූර්යපුත්‍ර, සූර්ය පුත්‍රගේ පුත් ධර්මරාජ, ඔහුගේ පුත් හේතිරාක්ෂස, ඔහුගේ පුත් විද්‍යුත්කේෂ, ඔහුගේ පුත් සුකේෂ හා සුකේෂගේ පුත් සුමාලි ප්‍රධානතම වේ. සුමාලි යනු රාවණගේ මුත්තණුවන්ය. සුමාලිගේ පුත්‍රයා පුලත්‍ය ඍෂිවරයාණන් වූ අතර, ඔහුගේ පුත්‍රයා වූයේ විශ්‍රාවාස මුනිවරයා නැතහොත් රාවණගේ පියාණන්ය. රාවණ උපන්නේ ලංකාවේ නොව ඉන්දියාවේ නර්මදා නදිය අසබඩ ප්‍රදේශයකය. සුමාලි මුත්තණුවන් විසින් ඉතා දියුණු රාජ්‍යයක් බවට පත්කර තිබූ ලංකා රාජ්‍යය නැතහොත් මිණිමිහි දේශය ඒ වනවිට පාලනය කරනු ලැබුවේ වෛශ්‍රාවන නම් රජකු විසිනි. කූඨ උපක්‍රමයක් මගින් ලංකා රාජ්‍යය තමන් යටතට ගත් වෛශ්‍රාවන එහි සැබෑ උරුමක්කරුවන්ගෙන් උදුරා‍ගෙන තිබිණි. භාරතය පුරා පැතිරී තිබූ සත්ව බිලිපූජා හා බමුණන්ගේ හිංසාවාදී ආගමික පිළිවෙත් වලට විරුද්ධව යමින් සුමාලි විසින් කරන ලද යුද්ධයේදී බමුණන් පළවාහැරීමට සුමාලිට හැකිවුවත් විෂ්ණු නමැති පාලකයා විසින් සුමාලි පරාජයට පත්කර ලංකා රාජ්‍යය වෛශ්‍රාවනට පවරාදෙනු ලැබීය.

එවකට භාරතය යනු ලොව ‍දූෂිතම රාජ්‍යයන්ගෙන් එකක් බව මෙහිදී අපට මනාව සනාථවේ. රාවණගේ පරපුර යනු අතිශය අවිහිංසාවාදී හා සියලු සත්වයන්ගේ සුභසිද්ධිය උදෙසා දැවැන්ත අරගල කරන ලද පරපුරක් බව ඉතිහාසය සාක්ෂි දරයි. එහෙත් එම ඉතිහාසය විකෘති කරමින් රාමායනය ලියන ලද වාල්මිකී, බ්‍රාහ්මණයන්ගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා රාවණගේ පරපුර රාක්ෂයින් ලෙස හැඳින්වීම කෙතරම් සාවද්‍යදැයි අපට සිතේ.

කෙසේ වුවද මිණිමිහි දේශයේ නැතහොත් ලංකාවේ සැබෑ උරුමය සියතට ගත් රාවණා ඊට වසර ගණනාවකට පසුව ලංකා රාජ්‍ය යටත් කොටගෙන ලංකාවේ රජු බවට පත්වන්නේ සියලු ශිල්ප ශාස්ත්‍රයන්ගේ කෙළපැමිණියකු ලෙසය. ඔහු වෛශ්‍රාවනට අභයදානය දී ඉන්දියාවට පිටුවහල් කරන්නේ සිරකරුවකු ලෙස නොව ඉන්දියාවේ තම පියාට අයත්ව තිබූ ප්‍රදේශයක භාරකාරත්වයටද පත්කරමිනි.

රාවණා ලංකා රාජ්‍යයේ අගරජු බවට පත්වන්නේ තනි පුද්ගලයකු ලෙස නොව ඔහුගේ සහෝදර සහෝදරියන්ද එහි භාරකාරත්වයට පත්කර ගනිමිනි. ඔහුගේ සහෝදරයන් වූ කුම්භකර්ණ, බර, දූෂණ, විභීෂණ යන අයට මෙන්ම රාවණාගේ නැගණිය වූ සුපර්ණකා කුමාරියටද රාජ්‍යයේ ඉහළ තනතුරු හිමිවිය. සුපර්ණකා යනු එකල සමස්ත ඉන්දියාවේම සිටි අභිරූමතියකි. රාවණාගේ හා සුපර්ණකාගේ බැඳීමට සමාන සහෝදර බැඳීමක් වෙනත් පුරාවෘත්ත වලින් සොයාගැනීමට අපහසුය. රාවණා රාජ්‍යය කරද්දී සුපර්ණකා ඔහුගේ උපදේශිකාව වූවා පමණක් නොව මුලසිටම ඇගේ ක්‍රියාකලාපය පරම අවිහිංසාවාදී වූ බව රාජ්‍යයේ ඇතැම් ගැටළු නිරාකරණයේදී ගත් පියවර මගින් අපට මනාව පසක්වේ. රාජ්‍ය පාලනයේදී රාවණ විසින් ගනුලැබූ වැරදි සහගත තීරණයක්ද වේ. එනම් විභීෂණට යුවරාජ තනතුර ලබාදීමය. විභීෂණ යනු කුඩාකල සිටම රාවණට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය නියෝජනය කළ පුද්ගලයකු බව දැනදැනත් තම සහෝදරකම සලකා රාවණා විසින් ඔහුට යුවරාජ තනතුර ලබාදෙන්නේ මතුවන විපත දැනද, නැතිනම් නොදැනද යන්න මෙහිදී පැහැදිලි නොවේ.

කෙසේ වුවද රාවණ ලංකාපුරය ලෝකයේ ශ්‍රේෂ්ඨතම රාජ්‍යයේ බවට පත්කර පරම අවිහිංසාවාදය පතුරවමින් මෙතෙක් කිසිවකට සමකළ නොහැකිවූ අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කරමින්, නොයෙකුත් විද්‍යාවන් පිළිබඳ පොතපත ලියමින් රාජ්‍යයට පාලනය ගෙනයයි. යාගහෝම කරමින් බිලිපූජා පවත්වමින් තම පැවැත්ම සකස් කරගෙන සිටි ඉන්දියාවේ බමුණන් රාවණගේ නීතිරීති නිසා තවදුරටත් එම කටයුතු සිදුකරගත නොහැකිව රාවණ කෙරෙහි වෛර බඳිමින් ඔහු විනාශ කිරීමට නොයෙකුත් කූඨ උපක්‍රම ක්‍රියාත්මක කිරීමට පටන්ගන්නේ මෙම අවධියේදීය. භාරතයේද දශරථ රජුගේ පුත්‍රයන් දෙදෙනා වන රාම හා ලක්ෂ්මණ මේ කටයුත්ත සඳහා ඔහුන් යොදාගනු ලබයි. වනවාසයට ගොස් සිටින රාම හා ඔහුගේ බිරිඳ සීතා මෙන්ම ලක්ෂ්මණද දැන හෝ නොදැන බමුණන්ගේ මෙම උපක්‍රම වලට හසුවෙති. රාම යනු මහා උතුමෙක් ලෙස රාමයනයේ සඳහන් වුවද, ඔහු ස්ත්‍රීන් කෙරෙහි ලොල්වූ පුද්ගලයකු බව අපට පෙනෙන්නේ රාවණගේ නැගණිය වන සුපර්ණකා කුමරිය මහවනයේදී රාමාට මුණගැසීමත් සමඟය.

සුපර්ණකා දුටු පමණින් රාම ඇයට වශී වී සීතාද අමතක කර දමන්නට තරම් නින්දිත වේ. එහෙත් මෙය නොඉවසන ලක්ෂ්මණ බමුණන්ගේ ඉගැන්වීම් මත සුපර්ණකාගේ කන් හා නාසය කපා දමන්නට තරම් සැහැසි වේ. ගැහැනියකගේ කන් හා නාසය කපා දමන්නට තරම් පහත් හා අධම වූ මිනිසුන් දේවත්වයෙන් පුදන්නට තරම් ඉතිහාසය වැරදී ගියේ කෙසේ දැයි අපට නම් සිතාගත නොහැකිය. කෙසේ වුවද අවසානයේ දස වසරක් තරම් දීර්ඝ වූ මහා යුද්ධයක ආරම්භය සනිටුහන් වන්නේ එසේය. සුපර්ණකාගේ සිදුවීමට රාමගෙන් පළිගැනීමක් ලෙස රාවණා විසින් පුෂ්පක යානයෙන් සීතා රැගෙන ලංකාවට පැමිණෙයි. එහෙත් ඇය සිරකාරියක ලෙස සිරකර තැබීමට රාවණා කිසිම විටකදී උත්සාහ නොකරයි. සිරගෙයක් වෙනුවට අශෝක උයනේ මනරම් නිවසක් සාදවා සීතාව එහි රඳවා තබන රාවණා, රාමාත් සමඟ යුදවැදීමට කිසිදු උත්සාහයක් නොදරයි.

සාකච්ඡා කර ගැටළුව නිරාකරණය කරගැනීමට රාවණා දරන උත්සාහය අවසානයේදී අසාර්ථක වන්නේ දිගින්දිගටම රාම හා ලක්ෂ්මණ බමුණන් සමඟ එක්වී යුද්ධයකට අරඇඳීම නිසාවෙනි. මෙහිදී විභීෂණ තම සොහොයුරා වන රාවණගේ සියලු යුද රහස් රාමා අතට පත්කොට රාවණ පරදවාලීමට ඔහුගේ උපරිම දායකත්වය රාමාට හිමිකරදෙන්නේ රටත්, ජාතියත් මහා පාවාදීමකට ලක්කරමිනි. දස වසරක යුද්ධයෙන් පසුව රාවණ නම් අසහාය යුගපුරුෂයා, සුපර්ණකා කුමරියට සියලු දේ පවරා දී මිය යයි. රාමාට හෝ ලක්ෂ්මණටද මෙයින් කිසිදු යහපතක් හිමි නොවේ. සීතාව නිදහස් කරගත්තද බමුණන්ගේ‍ කේළාම් අසා රාමා ඇය අත්හැර දමයි. ඒ වනවිට ඇය රාමාගෙන් නිවුන් දරුවන් දෙදෙනකු ලබාසිටියද රාමාට ඒ කිසිවක් වැදගත් නොවේ. අග්නි පරීක්ෂණයේදී ඇගේ නිර්දෝෂීභාවය ලෝකයටම හෙළිවූ බව වාල්මිකීගේ රාමායනයේ සඳහන්ව ඇත.

දස වසරක් ලංකා පුරයේ රඳවාගෙන සිටි සීතාට රාවණගෙන් කිසිදු අන්ත්‍රාවක් නොවූ බව සනාථ වීමට එම ප්‍රකාශය ප්‍රමාණවත් නොවේද? එසේ නම් රාවණ යහපත් මිනිසකු නොවේ යැයි ඉතිහාසය තීන්දු කරන්නේ කෙසේද? මෙබඳු බො‍හෝ පරස් පරතා රාමායනය කෘතිය පුරාවටම ඇත. එසේ වන්නේ සත්‍ය සඟවා, හෘද සාක්ෂියට පිටුපා, රාමායනය රචනාකර ඇති නිසා බව පැහැදිලිය. කෙසේ වුවද රාමාගේ නොසැලකිල්ලෙන් සීතා හෙළකින් පහලට පැන සියදිවි නසාගන්නා අතර, ලක්ෂ්මණද රාමාගේ පිළිකුල් සහගත ක්‍රියා කලාපය නිසා අයෝධ්‍යවේ සයුර නදියට පැන සියදිවි නසා ගනී. අවසානයේ රාමාද එම නදියටම පැන සියදිවි නසාගත් බව ඉතිහාසයේ සඳහන් වේ. විභීෂණ ලංකාපුරයේ රජ වුවද, ඔහුගේ අවසාන කාලය දක්වා මිනිසුන් ඔහු රජකු ලෙස පිළිනොගත් බව සඳහන් වේ. එහෙත් මරණින් පසු ඔහු රාම මෙන්ම දෙවිකෙනකු වීම උභතෝකෝටිකයකි. යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් මියගිය රාවණ අතීතයේ වැළලී යද්දී රාම හා විභීෂණ අනාගතයටත් පැමිණියේ කෙසේදැයි අපට නම් ගැටළුවකි. එයට සැබෑ හේතුව නම් එකල සිටම අද දක්වාත්, ඉන්දියානු බලපෑමෙන් තොරව මෙරට ජනයාට හුස්ම ගැනීමටවත් නොහැකිවීම නිසා වන්නට ඇතැයි අවසානයේ අපට සිතේ.

Lankagamdoranews

උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/main-news/93212/

ආශ්‍රිත ප්‍රවර්ග: රාමායනය රාවණ ඉතිහාසය රාවණ රජු
වැදුම්: 2217
0

එක් කලක මහාභාරතය සහ භගවත් ගීතාව ඉන්දියාවේ පූජනීයත්වයට පත් වීර කාව්‍යයන් දෙකක් ලෙස සලකනු ලැබිණි. එහෙත් අද වනවිට එම ග්‍රන්ථ වීර කාව්‍යයක් නොව ඉන්දියාවේ සැබෑ ඉතිහාසය වන බවට ඔප්පු වී හමාරය. ඊට පදනම වැටණේ වසර ගණනක් තිස්සේ සිදු කළ පුරාවෘත්ත අධ්‍යයනයයි. මහාභාරතය භගවත් ගීතාව මිත්‍යාවක් ලෙසින් බැහැර කිරීම පසෙකලා එහි සඳහන් කෙරෙන ස්ථාන සැබෑ ලෙසම කොහේ හෝ ස්ථාන ගතවී ඇත්දැයි යන්න එකින් එක ගෙන අධ්‍යයනය කළේය.

බොම්බායෙන් සැතපුම් 200ක් පමණ උතුරින් කුම්බේ බොක්කේ මුහුදු යට සැඟවී තිබූ ජනස්ථාන් නගරය සොයාගැනීමට සාගර දුෂණ කොමිසමට හැකිවූයේ එලෙසය. එය වැඩිදුරටත් ගවේෂණය හරහා එය රාමායණයේ සඳහන් වන රාවණ රජුගේ සොහොයුරන් වූ ඛර හා දුෂණ විසින් පාලනය කළ දණ්ඩ කාරණය බව සොයා ගත්තේය. එහි උපරැජිනය වූයේ කුම්භාණිය. මෙහි ප‍්‍රධාන නගරය ජනස්ථානය ලෙසත් හඳුනාගන්නට ලැබිණි. මේ සොයාගැනීමත් සමගම ඉන්දියානු වීර කාව්‍ය අධ්‍යයනය ඇරඹුණු අතර මහාභාරතයේ මෙන්ම රාමායණයේ සඳහන් බොහෝ නගර මේ ඔස්සේ මතු කරගත හැකි විය. ජනස්ථාන් නගරය කාල නිර්ණය කිරීමේදී එය වසර 10000කට වඩා පැරැණි බව සොයාගැනීමත් සමගම ඉන්දීය ඉතිහාසය වසර අටදහසකින් පමණ ඈතට දිව ගියේය. දණ්ඩ කාරණය රාවණ රජුගේ සොහොයුරා පාලනය කළ නගරය බව ඉන්දියානුවන් පිළිගනිද්දී තවමත් අප සමාජය රාවණ පිළිනොගන්නේ මන්දැයි ගැටලූවක්, ඉතිහාසය දිගුකර ගැනීමක් හෝ වෙනස් කරගැනීමක් අපට අවශ්‍ය නැත. එහෙත් විද්‍යාවෙන් හෝ පුරාවිද්‍යාවෙන් සනාත නොවූ පලියට ඒවා මිත්‍යාවන් හෝ අසත්‍ය ලෙස බැහැර කළ නොහැකිය. යටත් විජිත සමයේ ලංකා පොළොව තුළ සැඟවී තිබූ අතිවිශාල ප‍්‍රමාණයක් පුරාවස්තු නැව් පිටින් හිරු නොබසින අධිරාජ්‍යය වෙත ඇදී ගිය බවට  ඕනෑ තරම් සාධක ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටි වූයේ කුමක් අරබයාද යන්න ඉංගී‍්‍රසි ජාතික බෙල් පිළිබඳ අධ්‍යයනය කළවිට කරුණු අවබෝධ කරගත හැකිය. බොහෝ දෙනෙක් රාවණ පිළිබඳ කරුණු බැහැර කරනා පදනමේ සිට බැලූ කල එසේනම් යන්ත‍්‍ර මන්ත‍්‍ර ක‍්‍රම මෙන්ම බලි යාග ක‍්‍රම සියල්ල ඉවත දැමීමටත් සිදු වේ. මක්නිසාද යත් ඒ කිසිවක් විද්‍යාවට හසුනොවන නිසාය.

යටත් විජිත සමයේ ලංකා පොළොව තුළ සැඟවී තිබූ අතිවිශාල ප්‍රමාණයක් පුරාවස්තු නැව් පිටින් හිරු නොබසින අධිරාජ්‍යය වෙත ඇදී ගිය බවට ඕනෑ තරම් සාධක ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිට වූයේ කුමක් අරබයාද යන්න ඉංග්‍රීසි ජාතික බෙල් පිළිබඳ අධ්‍යයනය කළවිට කරුණු අවබෝධ කරගත හැකිය. බොහෝ දෙනෙක් රාවණ පිළිබඳ කරුණු බැහැර කරනා පදනමේ සිට බැලූ කල එසේනම් යන්ත්‍ර මන්ත්‍ර ක්‍රම මෙන්ම බලි යාග ක්‍රම සියල්ල ඉවත දැමීමටත් සිදු වේ. මක්නිසාද යත් ඒ කිසිවක් විද්‍යාවට හසුනොවන නිසාය.

පසුගිය කාලයේදී ලංකාව තුළ හෙළ ඉතිහාසයට සම්බන්ධ බොහෝ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි විය. මීට පෙරදී අප පෙන්වාදුන් ස්ථාන වලින්ම ඒ කියූ පරිදිම උමං මතුවිය. අප රාවණ යුගයේ ජල තාක්ෂණය යන ලිපිය තුළ සිතියම් ගතකර දැක්වූ අයුරින්ම උමා ඔය ව්‍යාපෘතිය තුළ උමං මාර්ග සොයාගැනීමට හැකිවිය. සාදින්නාගල උමඟ තවත් එලෙස හමුවූ උමං මාර්ගයකි. ඉදිරි කාලයේදී සොයා ගනු ඇතැයි කී හෙළයන්ගේ පළිඟු පිරමීඩය ග්‍රීන්ලන්තයෙන් සොයාගෙන අවසන්ය. එසේම සක්‍රිය මට්ටමේ සක්වළ දොරටුවක් සහිත පිරමීඩයක් රාවණ ශක්තිය හරහා මතුවන බව අපි පැවසුවෙමු. 2012 අග භාගයේදී මෙක්සිකෝවෙන් සොයාගත් දෙවැනි මායා පිරමීඩයෙන් මතු වූ සක්වළ දොරටුව ලොව මෙතෙක් සොයාගත් අද්විතියම සක්වළ දොරටුව බව මේ වනවිට පර්යේෂකයෝ ප්‍රකාශ කර හමාරය. එසේනම් මේවා මතුවනුයේ අහම්බයකින් නොවන බව අප තේරුම්ගත යුතුය.

පසුගියදා චීනය තොරතුරු චන්ද්‍රිකාවක් කක්ෂගත කළේය. එහි අයිතියක් අපටද ඇති බවට මතයක් ඇත. එහි අයිතිය කෙසේ වෙතත් දැන් අපට නමට හෝ චන්ද්‍රිකාවක් ඇත. චන්ද්‍රිකා තුනක් තිර් ත්‍රිකෝණාකාරව පෘථිවිය වටා කක්ෂගත කිරීම හරහා පෘථිවිය තුළ සන්නිවේදන කටයුතු සිදු කළ හැකි බව මුලින්ම පරික්ෂා කළේ ආතර් සී. ක්ලාක් මහතාය. වර්තමානය වනවිට එය ක්‍රියාවට නැගී ඇත. යම් චන්ද්‍රිකාවක් කක්ෂගත කළ විට එය ඒකාකාරීව පෘථිවිය වටා භ්‍රමණය වීම සිදුවෙයි.

මීට වසර ගණනකට ඈත අතීතයේ ලියැවුණු රාමායණයේ මෙයට සමාන සිදුවීමක් දැකගත හැකිවෙයි. එහි සඳහන් වන ආකාරයට රාවණ රජුගේ බලගතුම අවි තුනක් වේරම්බ වාතයේ සඟවා පැවති අතර අවශ්‍ය අවස්ථාවන් වලදී පමණක් හිමාලයේ මුදුනට ගොස් එම අවි ලබාගත් බව එහි සඳහන් වෙයි. රාමායණය කෙමෙන් කෙමෙන් සත්‍යයක් වන තැනට තොරතුරු මතු කරගෙන ඇත්නම් මෙහිදි සත්‍යයක් පැවතිය යුතුය. වේරම්බ වාතය විද්‍යාත්මක පදනමක් සහිතව සොයාගනු ලබන්නේ 1941දීය. පෘථිවි මට්ටමේ සිට අඩි 25000-30000 උසකින් පෘථිවිය වටා ගමන් කරනා ශක්ති ධාරාවකි. ගුවන් යානා භාෂාවේදී මෙය ජෙට් ස්ට්‍රීම් (Jet Stream) ලෙස හඳුන්වනු ලබයි. මෙම වායු ධාරාව තුළදී එක් පසෙකට ගමන් කිරීමේදී යානයට දෙගුණයක වේගයක් ලැබෙන අතර අනෙක් පසට ගමන් කිරීමේදී එහි වේගය අඩකින් අඩුවීම සිදුවෙයි. පහළ කක්ෂ මට්ටම ලෙස හැඳින්වෙන්නේ ද මෙයයි.

රාමායණය තුළ වේරම්බ වාතයේ සැඟවූ රාවණ රජුගේ ආයුධ තුනක් පිළිබඳ කතා කිරීමට හේතුව පැහැදිලිය. යුද්ධයක බලගතුම අවිය වනුයේ තොරතුරුය. ඇමෙරිකාව ලෝකය පුරා සියලූ රටවල තොරතුරු ගන්නේ චන්ද්‍රිකා හරහාය.

රාමායණ කතුවරයාට මෙය අවියක් ලෙසින් සිතන්නට පැහැදිලි හේතුද ඇත. වේරම්බ වාතය යනු පහළම කක්ෂයයි. එනම් මෙහි ස්ථානගත කළ චන්ද්‍රිකා තුනක් හරහා තොරතුරු ලබා ගැනීමේ ක්‍රම වේදයක් රාවණ රජු භාවිත කළේ යැයි කීම පදනම් විරහිත කතාවක් නොවේ. යුද්ධයක් ජයගැනීමට මෙන්ම ලෝකයම ජනාවාස කළ හෙළයන්ගේ ප්‍රධානම අවිය වන්නට ඇත්තේ මෙයයි. මෙය බහුතරයකට විහිළුවක් සේ සිතෙනන්ට පුළුවන. එහෙත් පසුගිය කාලයේ ගිලීගිය නැවකින් සොයාගත් වසර දෙදහසකටත් වඩා පැරැණි පරිගණකයක් සේ හඳුනාගත් ඇන්ටිකතිරියා මැෂිම විහිළුවකැයි කිසිවකුට හෝ පැවසිය නොහැකිය.

එය නූතන විද්‍යාවෙන් ද පිළිගෙන හමාරය. කඩාවැටුණු පිටසක්වළ යානාවක තිබූ පරිගණකයක් සේ යම් මත ඉදිරිපත් වුවත් විද්‍යාඥයන් විසින් ඇන්ටිකතිරියා මැෂිමේ ආකෘතියක් නිර්මාණය කිරීමත් සමග අදින් වසර දහස් ගණනකට පෙර පැවති පරිගණක තාක්ෂණ ක්‍රමවේදයක් පිළිබඳ නැවත සිතන්නට අවස්ථාව විවර කළේය. බටහිර විද්වතුන් ලංකාවට මෙන්ම ඉන්දියාවට පැමිණ හදාරන ලද්දේ රාවණ ඉතිහාසයයි. ඔවුහු හෙළ දැනුම බටහිරට ගෙන ගොස් තමන්ගේ සොයා ගැනීම් ලෙස ලෝකයට හෙළි කළහ.

රාමායණයේ සඳහන් වන ලෙසට රාවණ රජතුමා වේරම්බ වාතයේ සැඟවූ ආයුධ ගැනීමට හිමාලයේ මුදුනට නැගිය යුතුය. මෙය ඉතා සරල කතාවකි. එහෙත් තාක්ෂණය දන්නා හෙළයන් මෙහි ඇතුළාන්තය ගැන හොඳින් දැන සිටියේය. එවරස්ට් කන්දේ උස අඩි 29029 කි. එනම් හිමාලය හරහා වේරම්බ වාතය වක්‍රාකාරව ගලායයි. මෙහිදී ඉතා සියුම් ක්‍රම වේදයක් ඔස්සේ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට හැකියාව පැවතුණි. වේරම්බ වාතය යනු ඒකාකාරීව පෘථිවිය වටා ගමන් කරනා වායු ධාරාවක් බැවින් මෙය නිරන්තරව භ්‍රමණය වීම සිදු වෙයි. අප කතා කරනුයේ නූතන විද්‍යාවෙන් ඔප්පු වූ රාමායණයේ සඟවා විස්තර කළ හෙළයන්ගේ දස්කම් ගැනය. පසුගිය දා චීනය චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමත් සමගම ගුවන්යානා තාක්ෂණය පිළිබඳ ඇති වූ උණුසුම් කතාබහ තවමත් කිසිවකුටත් අමතක නැත. එහෙත් එහිදී අවශ්‍ය වන්නේ අපේ රට තුළ නිපදවූ චන්ද්‍රිකාවක් තනන්නට අපේම වුවමනා දැනුම එක්කාසු කරගෙන එවන් නිර්මාණයක් කිරීමය. ඒ අවශ්‍යතාව සහිත යුගය එළැඹ ඇත. මන්ද හෙළයන්ගේ යුගය උදාවී ඇති බැවින.

කාංචන මනමේන්ද්‍ර

උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/main-news/93620/

වැදුම්: 2025
0

ආශ්‍රිත ප්‍රවර්ග: රාවණ ඉතිහාසය වීඩියෝ දර්ශණ
වැදුම්: 1989
0

රාවණ ඉතිහාසය

ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා මව්බිම පුවත්පතේ පළ කළ "රාවණාවත" ලිපි එකතුව. ලිපි අයිතිය මෙන්ම මෙහි වගකීමත් මව්බිම පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.

b2ap3_thumbnail_2_20131101-044927_1.jpg

b2ap3_thumbnail_3_20131101-044932_1.jpg

b2ap3_thumbnail_1_20131101-044916_1.jpg

b2ap3_thumbnail_4_20131101-044935_1.jpgලිපි එකතුව මෙතනින් භාගත කර ගන්න.

http://www.mediafire.com/download/wrpt4ll7n3a5cr3/helayugaya2.zip

ආශ්‍රිත ප්‍රවර්ග: මෑත කාලීන රාවණ ඉතිහාසය
වැදුම්: 2746
0

රාවණ ඉතිහාසය

කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ පළ කළ "හෙළයුගය සොයා යෑම" ලිපි එකතුව. ලිපි අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.

ලිපි එකතුව මෙතනින් භාගත කර ගන්න.

http://www.mediafire.com/download/1attc9quuvex7ys/helayugaya1.rar

ආශ්‍රිත ප්‍රවර්ග: මෑත කාලීන රාවණ ඉතිහාසය
වැදුම්: 1966
0

ඓතිහාසික සාධක

ITN වෙනස වැඩසටහන රාවණ රජු හා රාවණ ගුහාව අලලා සකස් කල වාර්තාමය වැඩසටහන.

වැදුම්: 4024
0

දාර්ශනික අදහස්‌වලින් පරිපූර්ණ වූ වේද වේදාංශ, බ්‍රාහ්මණ, උපනිශද් හා වීරකාව්‍යවලින් පෝෂණය වූ රටකි ඉන්දියාව. ජාතියක්‌ හැටියට එක්‌වන්ව නැගී සිටීමට ඔවුනට අනුබලයක්‌ වී ඇත්තේ වීරකාව්‍යයි. මහාභාරතය, රාමායනය ඔවුන්ගේ සාහිත්‍යයට එක්‌වී ඇතතේ වීරකාව්‍යයි වශයෙනි. වීරකාව්‍යයන් ලෙස ප්‍රසිද්ධ කථා අතර රාම - රාවණ, කුරු - පාණ්‌ඩව හා සුර - අසුර වැනි කථා තුළින් නින්දිතයා පරාජයට පත්වෙන අතර වීරයා ජයග්‍රහණය කරයි. අසාධාරණය වෙනුවෙන් සටන් වදින වීරයාගේ කථාවෙන් ඉන්දියානු ජාතිකයා තුළ මහත් අභිමානයක්‌ ඇති කෙරේ. ඔවුන් අපරාජිත ජාතියක්‌ බවට පත් කෙරේ.

රාමායනය පැරණි කෘතියක්‌ හැටියට වැදගත් වූවත් වීරකාව්‍යයක්‌ හැටියට අපට වැදගත් වන්නේ නැත. කුමක්‌ හෙයින්ද, ශ්‍රී ලාංකික රාවණා පිළිබඳ තොරතුරු නොදැන රාමට අත්පුඩි ගැසීම අපට තරම් නොමැති බැවිනි. ශ්‍රී ලාංකිකයාට පැරණි වීරකාව්‍ය සාහිත්‍යයක් නොමැත. තිබුණත් ඒවා වැළලී ගොසිනි. අපට යම්තම් හෝ අභිමානයක්‌ ඇතිවන්නේ දුටුගැමුණු රජතුමාගේ කථා ප්‍රවෘත්තියෙනි. විජයගෙන් පැවත එනවා යෑයි විශ්වාස කරන අපට යක්‌ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන රාවණා නින්දිතයෙකි. සීතාව දූෂණය කළේ යෑයි රාමායනයේ බැරිවීමකින් හෝ සඳහන් වූවා නම් රාවණ අපට සල්ලාලයෙකි. වරක්‌ බුදුන්වහන්සේ ලක්‌දිවට වැඩම කළ අවස්‌ථාවේ අසංවර යක්‌ෂ ගෝත්‍රිකයන් පෙළහර පා දමනය කොට ගිරි දිවයිනට පන්නා දැමූ බවක්‌ සඳහන් වෙයි.

විජය ලංකාදීපයට පැමිණ මෙහි ජනාවාස ඇති කොට කෘෂිකාර්මික රටාවකට හුරු පිරිසක්‌ බිහි කළ බවත් ඒ වන විට ලංකාවේ ආදි වාසීන් වන යක්‌ෂ ගෝත්‍රිකයන් පහත් චර්යාවල යෙදෙමින් දඩයම වෘත්තියක්‌ කොට ජීවත් වූ බවත් බොහෝ අයගේ මතයයි. විජය ඇතුළු පිරිස උසස්‌ කොට තැකීමත් සමග ශ්‍රී ලාංකික අනාර්යයන් හෙවත් යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ තොරතුරු ඓතිහාසික ග්‍රන්ථවලින් මග හැරී තිබීම කනගාටුවට කරුණකි.

යක්‌ෂ ගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්නට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.

කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.

"ශ්‍රී මහෝත්තම විරාජමාන ශාඛ්‍යවංශාලංකෘතවූ සම්‍යයක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්‌ෂීර කේමවැ මිනිමිහි දේශේ"

ඔදැතිය උපුල්වන් ගිරිදෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය රකුන්ගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය නීලගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය කාවස්‌ලාභ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී
ඔදැතිය වාලුක දෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය අග්නිදෙස්‌ රකුන්පති ඊ බලපති වී
ඔදැතිය විලෝපාදි දෙස්‌ රකුන්පති දෙස්‌ බලපති වී

වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්‌ථා නම් යක්‌ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක්‌ විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක්‌ දකුණු ප්‍රදේශයේ ස්‌ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ,

  1. උපුල්වන්ගිරි දේශය - දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.
  2. රකුන්ගිරි දේශය - රිටිගල ප්‍රදේශය.
  3. කාවස්‌ථ ලාභ යක්‌ෂ කුලය පාලන ප්‍රදේශය - හබරන මහියංගන ප්‍රදේශය.
  4. නීලගිරි දේශය - මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.
  5. ධූමක කද්දීර දේශය - කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.
  6. වාලුක දේශය - තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.
  7. බන්දු දේශය - නැගෙනහිර ප්‍රදේශය.
  8. අග්නි දේශය - ගිනිකොණ ප්‍රදේශය.
  9. වීලෝපාදි දේශය - බටහිර ප්‍රදේශය.

මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි. දෙවැන්න ප්‍රදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ සෙන්පතියාගේ පාලන ප්‍රදේශයයි. යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්‌න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්‌න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්‌දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්‌න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්‌දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්‌කම නමින් ප්‍රසිද්ධියට පත්විය.

යක්‌ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්‌කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක්‌ දෙරණේ පය තැබූ ස්‌ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්‌දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්‌වීම නිසා මේ ස්‌ථානය පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්‌ථානය අදටත් අප්‍රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්‌ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්රාය දේශනා කළහ. එය ශ්‍රණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක්‌ කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක්‌ ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්‌ෂූ භික්‌ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.

නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යමය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ.

රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්‌ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්‌ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස්‌ කාලයක්‌ වැඩ විසුහ. යක්‌ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක්‌ පූජා කළේය. දඹුලු විහාරයේ අදත් ඒ ලෙන නිරුපද්‍රිතව පවති. මූලින්ම බුදුන් වහන්සේට පූජා කළ විහාරය දඹුලු විහාරයයි. ඒ බව සනාථ කෙරෙන සෙල් ලිපිය පහත දැක්‌වේ.

ගෞතම ශ්‍රමණේ බඩගරික අනද තෙරශ, පුණ තෙරශ, පුස තෙරශ අගමාගත ලෙන මනස දසන නම අගත අනගත වතුදශ ශගස (උපුටා ගැනීම - අපට අහිමි වූ අපේ උරුමය මුකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමි)

කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්‌ථානයේ කුඩාවට චෛත්‍යයක්‌ ඉදිකොට බුහුමන් දැක්‌වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක්‌ හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්‌ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.

එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ ශ්‍රේෂ්ඨ ජාතියක්‌ බව පිළිගන්නට සිදුවේ.

ත්‍රිපිඨකවේදී පණ්‌ඩිත ශාස්‌ත්‍රපති - පූජ්‍ය මැනෑවේ විමලරතන හිමි.

ආශ්‍රිත ප්‍රවර්ග: රාවණ ඉතිහාසය
වැදුම්: 2852
0

රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කරුනක් නිසා රාවණා රජුගැන අපි දැන සිටින කරුණු කාරනා අල්පයැයි මට සිතේ. පාසලේදි ඉතිහාසය ඉගෙන ගැනිමේදි පවා අප රාවණා කෙනෙකු ගැන සදහනක්වත් අසන්නේ නැත. අපිට ඉගැන්නු හා උගන්වන ඉතිහාසය අනුව අප පැවත එනුයේ විජය රජුගෙන් යැයි අපි උගනෙමි. එහෙත් මෙය සත්‍යයක්ද? මා අසා හා කියවා ඇති කරුණු අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි.(ඒ පිලිබදව ඉදිරියේදි සටහන් තබන්නේමි) එහෙත් කුමන හේතුවක් නිසා අපි රාවණ ඉතිහාසය වසන්කරගෙන සිටිනවාදැයි මා හට වැටහිමක් නැත. මේ පිලිබද ව මා සොයාගත් හා එකතු කරගත් කරුනු අනුසාරයෙන් රාවණා පිලිබදව ලිපි මාලාවක් ලිවිමට අදහස් කලෙමි. ඉතින් අද පටන් අපේ ප්‍රෞඩ රාවණා ඉතිහාසය ගැන විස්තර කෙරෙන ලිපිමාලාවේ පලමු ලිපිය මෙයයි. ඔබ ලගත් මෙවැනි කරුනු අලලා ඇති ලිපි තිබේ නම් අපත් සමග බෙදාහදා ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.

මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි.

මහාවංශයට වඩා ඉපැරැණි ලියැවිල්ලක් වන වරිග පූර්ණිකා නම් යක්ෂ ජන සමූහයාට අයත් පුස්කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම "සියල්ල සම්පූර්ණ කළ යකා" වේ.

මහා සෘෂි වෛශ්‍රාවන (වෙසමුණි) රාවණ රජුගේ පියා වන අතර මව කකේසී නම් ධෛත්ය මහේෂිකාවයි. විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි. තවද කෛකේසිය 'මීනාක්ෂි' නම් දියණියකට ද උපත දුන්නාය. සුපනඛා ලෙස ප්‍රකට වුයේ රාවණාගේ සොහොයුරියයි.

රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්‍රාවකයෙක්, මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක් හා සුප්‍රසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස්, දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්‍රාඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ. රාවණා යනු විශිෂ්ඨ ග්‍රන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්‍රය හා ජෝතිෂ්‍යයට අදාල බලගතු ග්‍රන්ථයක් වන 'රාවණ සංහිතා' නම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි.

එමෙන්ම ආයුර්වේදය හා රාජ්‍ය පාලනය සම්බන්ධව පරිපූර්ණ දැනුමක් ඔහු සතු විය. ආයුර්වේදයට අදාලව වෛද්‍ය ග්‍රන්ථයන් ද ඔහු විසින් සම්පාදනය කර ඇතැයි සැලකේ. මහාබ්‍රහ්මයා විසින් ලබාදුන් දිව්‍යමය වරයකට අනුව අමරණීය බව ලබා ගත හැකි පානයක් ඔහු සතුව තිබුණු බව පැවසෙන අතර එය ඔහුගේ නාභියට යටින් රඳවා තබා ඇත.

මෙම ලිපියෙන් අපි අපේ වෙබ් අවකාශය ආරම්භ කරන්නෙමු.

ආශ්‍රිත ප්‍රවර්ග: රාවණ ඉතිහාසය
වැදුම්: 2436
0

ලිපි


විද්‍යුත් ලිපි මගින් සම්බන්ද වෙන්න

344034
යාවත්කාලීනය: 05-09-2014